ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊයේ (17) මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය නාහිමිවරුන් වෙත විශේෂ සාකච්ඡාවක් සඳහා මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස ගෞරව පුර්වකව ආරාධනා කළ ද උන්වහන්සේලා දෙනම ඊට සහභාගී වී නොමැත. 

මල්වතු-අස්ගිරි මහා නායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා පරිදි ශාසනික මෙන්ම, ජාතික සහ සාමාජීය වශයෙන් සුවිශේෂී කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම එම සාකච්ඡා අරමුණ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, නාහිමිවරුන් වහන්සේලා දෙනම ජනාධිපතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කර ඇත්තේ, රජයේ හා විශේෂයෙන් ම අධිකරණයේ ඇතැම් බෞද්ධ විරෝධී තීන්දු තීරණ සම්බන්ධයෙන් විරෝධය පළකරමිනි. 

වැලිමඩ ධම්මදින්න නමැති භික්‍ෂුණියට “භික්‍ෂුණී පදනම” යටතේ ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට ජුනි 16 දා නියෝගයක් නිකුත් කිරීම නාහිමිවරුන්ගේ කනස්සල්ලට හේතුවී ඇතැයි පැවසේ. එම තීන්දුව ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලේ දෙදෙනෙකුම අන්‍යාගමිකයින් වේ.

ඒ අතර බෞද්ධ විරෝධී ‘බෝනගේන්’ නිකාය වාදියකු අගවිනිසුරු කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් ගෙන ඇතැයි කියන තීන්දුව සම්බන්ධව ද බෞද්ධ නාහිමිවරුන් විරෝධය පළකර ඇත.  

එසේම, කාදිනල් උන්වහන්සේට වත්මන් ආණ්ඩුව විසින් දක්වනු ලබන විශේෂ අනුග්‍රහය ද බෞද්ධ නාහිමිවරුන්ගේ කනස්සල්ලට හේතුවී තිබේ. කාදිනල් හිමියන් රාජ්‍ය පාලනයේ ප්‍රබල භූමිකාවක් තිරය පිටුපස සිට කරන බව පොලිස් අමාත්‍යාංශයේ ලේකම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වැනි තනතුරුවලට නිර්දේශ සපයපු බවට අමාත්‍ය බිමල් රත්නායක පසුගියදා කළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් ද හෙළිදරව් වේ. 

මහනුවර ජනාධිපති මන්දිරයේ ඊයේ (17) පැවති සාකච්ජාවට මල්වතු – අස්ගිරි නාහිමිවරුන් වහන්සේලා සහභාගී නොවුවද උන්වහන්සේලාගේ ඉල්ලීම මත  ජනාධිපතිවරයාගේ  සාකච්ඡාවට මල්වතු – අස්ගිරි උභය මහා විහාරයීය අනුනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු කාරක මහා සංඝ සභික නායක ස්වාමින් වහන්සේලා සහභාගී වී තිබිණ.

එහිදී උන්වහන්සේලා ද රජයේ ඇතම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩිව කරුණු දක්වා තිබිණ. 

එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා, රජයේ කටයුතුවලදී මහා සංඝරත්නයේ අනුශාසනා අපේක්ෂා කරන බවත් ජාතික, ආගමික සහ සාමාජීය සංවර්ධනය උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට නොපසුබටව කටයුතු කරන බවත් අවධාරණය කර තිබේ.

ශාසනික වශයෙන් උද්ගතව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා බෞද්ධ විහාර දේවාලගම් පනත ආදී විවිධ පනත්වලට කාලීන සංශෝධන ගෙන ඒමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සහ භික්ෂු අධ්‍යාපනය සම්බන්ධයෙන් මෙහිදී මහා සංඝරත්නය විසින් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

වත්මන් අභියෝග හඳුනාගෙන ආගමික හර පද්ධති සහ සංස්කෘතිය සුරක්ෂිත කිරීමට රජය මුල් වී වැඩපිළිවෙළක් සකස් කිරීමේ වැදගත්කම සහ ශාසනික ගැටලු උදෙසා මෙන්ම ශාසනික උන්නතිය උදෙසා රජයේ කාර්යභාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බුද්ධශාසන කාර්ය සාධක උපදේශක සභාවක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් ව තිබේ.

ශාසනික වශයෙන් පවතින විවිධ අභියෝග සහ ගැටලු විසඳීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන කඩිනමින් සකස් කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී අදාළ අංශ වෙත උපදෙස් දී ඇත. 

මල්වතු මහාවිහාර පාර්ශ්වය නියෝජනය කරමින් පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී නන්දාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය දොරණෑගම ශ්‍රී රතනපාල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ මේධංකර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය වෙලගෙදර ශ්‍රී සුමනජෝති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය මහවෙල ශ්‍රී රතනපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේද, අස්ගිරි මහා විහාර පාර්ශ්වය නියෝජනය කරමින් පූජ්‍ය වේඬරුවේ උපාලි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය ගොඩගම ශ්‍රී මංගල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, ආචාර්ය පූජ්‍ය මැදගම ශ්‍රී ධම්මානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ, පූජ්‍ය කැටකුඹුරේ ශ්‍රී ධම්මාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙම අවස්ථාවට වැඩම කර සිටි අතර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts