රටම කම්පනයට පත් කළ ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුව මේ වනවිට යමින් තිබෙන්නේ කොහාටද? මේ ප්‍රශ්නය අද අපිට අහන්නට සිදුවී තිබෙන්නේ, යුක්තිය පසිඳලන අධිකරණය හමුවේ දිගහැරෙන අලුත්ම නාඩගම නිසාවෙනි. අහිංසක රෝගීන්ගේ ජීවිත බිලිගත් මේ මහා ජාවාරමේ ඇත්ත මහ මොළකරුවන්
සෙවීම පසෙකලා, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සහ රාජ්‍ය නිලධාරීන් දැන් අමුතුම රංගනයක නිරත වෙමින් සිටිති.
වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) නිලධාරියෙකු සාක්ෂි කූඩුවට නැගීමත් සමග මේ රඟපෑම තවත් තීව්‍ර විය. ඒ, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරහාගමගේ හැසිරීමෙනි.
සිද්ධිය මෙසේය. ප්‍රමිතියෙන් තොර ඖෂධය පිළිබඳව SAFRAC කමිටුව පළමු වරට අනතුරු අඟවන්නේ 2023 සැප්තැම්බර් 20 වැනිදාය. එහෙත් MSD ආයතනය ඒ ඖෂධය භාවිතය තහනම් කරමින් චක්‍රලේඛයක් ගසන්නේ ඔක්තෝබර් 03 වැනිදාය.
දින 13ක් තිස්සේ ඔවුන් නිදාගෙනද සිටියේ? නැත. ඔක්තෝබර් 02 වැනිදා එවකට සිටි සෞඛ්‍ය ඇමතිවරයා රහස් පොලිසියට (CID) පැමිණිලි කළ බව දැනගත් වහාම, කලබල වූ නිලධාරීන් පසුදාම අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.
පුදුමය නම්, “චක්‍රලේඛය පරක්කු වුණාට හානියක් වුණේ නෑ, මොකද සිස්ටම් එකෙන් රෝහල්වලට පණිවිඩය ගිහින් තිබුණේ” යැයි සාක්ෂි දුන් නිලධාරියා කිසිදු ලැජ්ජාවකින් තොරව පැවසීමය. රාජකාරිය පැහැර හැරීම සාධාරණීකරණය කරන්නේ එහෙමය.
ඖෂධ තොග ගණනය කිරීම ගැන ඇසූ විට ඔහු දුන් උත්තරය ඊටත් වඩා හාස්‍යජනකය. බෙහෙත් ශාලාවලට (Dispensaries) නිකුත් කළ පසු, ඒවා “පද්ධතියෙන් ඉවත් කළ ඖෂධ” (Minus) ලෙස සලකන බැවින් නැවත ගණන් කළ නොහැකිලු! මාරාන්තික බෙහෙතක් පවා ආපසු කැඳවා ගණනය කිරීමට තරම්වත් වගකීමක් මේ පද්ධතියට නැතිද?
කෙසේ වෙතත්, මේ නාඩගමේ සැබෑ ස්වරූපය එළියට පැන්නේ විත්ති පාර්ශවය හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළ විටදීය.
සාක්ෂිකරුගේ ප්‍රධාන රාජකාරිය දේශීයව නිෂ්පාදිත ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කිරීමයි. එහෙත්, මෙම ප්‍රමිතියෙන් තොර ඖෂධය ගෙන ආවේ අභිලාෂයන් කැඳවීමේ (EOI) ක්‍රියාවලියක් හරහා ආනයනය කිරීමෙනි.
එසේනම්, මේ කියන සාක්ෂිකරුවා අදාළ කාලය තුළ පළමු වැනි චූදිතයාට දුරකථන ඇමතුම් 180කට වඩා (ඇත්තටම 300ක් පමණ) ලබා දී තිබුණේ ඇයි? විත්තියේ නීතීඥවරයා මේ ප්‍රශ්නය ඇසූ විට සාක්ෂිකරුට කටඋත්තර නැති විය. “රාජකාරියකට කතා කළා වෙන්න ඇති” කියා ඔහු ගොත ගැසුවේය.
සැබෑ කලබලය පටන් ගත්තේ මෙතැනදීය. තම සාක්ෂිකරුවා නිරුවත් වන බව තේරුණු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරහාගම, විත්තියේ නීතීඥවරයා අසන සෑම ප්‍රශ්නයකටම පැන පැන විරෝධතා (Objections) දැක්වීමට පටන් ගත්තාය.
“සීඅයිඩී එකෙන් අහපු ඒවා අහන්න බෑ… උත්තර දුන්න විදිහ අහන්න බෑ…” යැයි කියමින් ඇය හැසිරුණේ ඇත්ත හෙළි වේ යැයි දැඩි බියකට පත් වූවාක් මෙනි.
මේ කඩාපැනීම් ඉවසාගත නොහැකිම තැන විත්තියේ නීතීඥ අමිත, ඇයට අපූරු කතාවක් කීවේය. “මෙහෙම භූමිතෙල් ගහපු ගැරඬියෙක් වගේ හැම එකටම ඔබ්ජෙක්ට් කරන්න එන්න එපා… ඔයා මේවා කොළේ වහලනේ ගහන්නේ… ප්‍රශ්න අහනකොට ඒක ගැටලුවක් තමයි…”
මේ වචන ටික මුළු නඩු විභාගයේම යටිපැත්ත පාඨකයාට පැහැදිලි කර දෙයි. පැමිණිල්ල උත්සාහ කරන්නේ සත්‍යය මතුකර ගැනීමටද? නැතහොත් තමන්ට වාසිදායක කතාවක් පමණක් ගොතා අධිකරණයට දීමටද?
මේ සියලු විහිළු මැද කූටප්‍රාප්තිය සනිටුහන් වූයේ භාණ්ඩ ලැබීමේ සටහන් (GRN) ගැන ඇසූ විටය.
දින එකහමාරක් තිස්සේ උසාවියේ GRN ලේඛන පනහක්, හැටක් අතගාමින් “මේක ජී.ආර්.එන් එකක්” යැයි සහතික කළ මේ සාක්ෂිකරුගෙන්, GRN එකක් හැදෙන්නට අවශ්‍ය මූලික ඩොකියුමන්ට්ස් මොනවාදැයි විත්තිය ඇසුවේය.
“මම ඒවා හැදෙන විදිහ දන්නේ නෑ…” ඔහු කිසිදු ගාණක් නැතුව කීවේය. තමන් හැදෙන විදිහවත් දන්නේ නැති ලේඛන, දින එකහමාරක් තිස්සේ උසාවියක සහතික කරන්නේ කෙසේද? මේ අධිකරණය නොමග යැවීමක් නොවේද?
රටම බලා සිටින, අහිංසක රෝගීන්ගේ ජීවිත අහිමි කළ මහා අපරාධයකට අදාළ නඩු විභාගයක් මෙතරම් පහළට වැටීම ඛේදවාචකයකි. තමන්ගේ ඇඟ බේරාගන්නට ගොතන බොරුත්, ඒවා වසන් කිරීමට රජයේ නීතිඥවරිය දරන වෑයමත් අපට කියන්නේ එකම එක කතාවකි.
ඒ, මේ දියවී යන්නේ අහිංසක ජනතාවගේ බදු මුදල් බවත්, මේ රටට තවත් මෙවැනි නාඩගම් බලා සිටීමට හෝ විහිළු කිරීමට වේලාවක් ඉතිරිව නැති බවත්ය.
– මල්කා නෙල්ලිගෙදර