බාල බෙහෙත් ඖෂධ ජාවාරමේ මහා නඩු විභාගය මේ දිනවල මහාධිකරණය හමුවේ දැඩි උණුසුම් මුහුණුවරකින් විභාග වෙමින් පවතී. එහෙත්, මෙම නඩු විභාගයේ තිරයෙන් පිටුපස සිදුවන දෑ සහ රජයේ සාක්ෂිකරුවන්ගේ හාස්‍යජනක හැසිරීම් දකින විට, මෙය නඩු විභාගයක්ද නැතහොත් විකට නාට්‍යයක්දැයි සිතෙන තරමටම කරුණු පෙළගැසෙමින් තිබේ.

ඉතාම දුර්වල හා අපිළිවෙල විදියට පැමිණිලි පාර්ශ්වය මෙහෙයවන රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම විසින් අධිකරණයට සාක්ෂියට කැඳවන ලද ප්‍රධාන රාජ්‍ය සාක්ෂිකරුවන්, විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ නිරුවත් වෙමින් “අපිනම් මුකුත් දන්නේ නෑ”, “අපිට මතක නෑ” කියමින් රජයේ කෝටි ගණනක මුදල් අවභාවිතයේ වගකීමෙන් ලිස්සා යාමට දරන උත්සාහය මේ වන විට අමු අමුවේම හෙළිදරව් වී අවසන්ය.

මේ අතර, රාජ්‍ය ලිපිගොනුවලින් කොළ ගලවා පළමු චූදිතයාට ලබාදීම වැනි බරපතල චෝදනා ගැන ඇසූ විට, ඒ සඳහා ලිඛිත සටහනක් නොමැතිව ඉහළ නිලධාරියෙකුගේ ‘වාචික අවසරයක්’ පමණක් තිබූ බව පවසමින් ඔහු ලිස්සා යාමට උත්සාහ කළේය.

ටෙන්ඩරය ඉදිරිපත් කර තිබුණේ එක් සමාගමකින් වුවද, චෙක්පත ලියා දී තිබුණේ ඊට හාත්පසින්ම වෙනත් සමාගමකටය. මේ පිළිබඳව විනිසුරු විරාජ් වීරසූරිය, “විගණන විමසුමක් ආපු එකක්වත් මතක නැත්නම් ඔබ කොහොමද රක්ෂාව කරන්නේ?” යැයි දැඩි ලෙස ප්‍රශ්න කළ විට ගණකාධිකාරීවරයා ඉතා අහිංසක ලෙස පැවසුවේ විගණන විමසුමක් නොආ බැවින් එය තමාට ගැටලුවක් නොවූ බවයි.

සාක්ෂි විභාගය අවසානයේ අධිකරණය හමුවේ විනිසුරුවරුන් විසින් ප්‍රධාන ගණකාධිකාරීවරයාට සෘජුවම ප්‍රකාශ කර සිටියේ, ප්‍රධානතම අමාත්‍යාංශයක වගකිවයුතු ගණකාධිකාරීවරයෙකු ලෙස ඔහු සම්පූර්ණයෙන්ම තම රාජකාරි වගකීම්වලින් බැහැරව කටයුතු කර ඇති බව පෙනී යන බවයි.

බාල ඖෂධ ගෙනැවිත් අහිංසක රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළූ මෙම මහා අපරාධයේදී, රජයේ ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස පැමිණෙන ඉහළ නිලධාරීන්ගේ කෝල් සිය ගණන්වල ජාවාරම්, ලිපිගොනු අතුරුදහන් කිරීම් සහ කාලානුරූපී “අමතක වීමේ” රෝගය දකින විට, රාජ්‍ය යන්ත්‍රණයේ දූෂිත විගඩම මහජනතාවට හොඳින්ම පසක් වේ.

නීතියේ දෙවඟනගේ දෑස් බැඳ ඇතැයි කීවද, තිරයෙන් පිටුපස සිදුවන මේ නාටකයේ සැබෑ ස්වරූපය සහ වගකීම් විරහිත නිලධාරිවාදයේ තරම දැන් දැන් මුළු රටටම නිරාවරණය වෙමින් පවතී.

කව්රුන් හෝ තමා විසින් ටාගට් කරගත් අයකු මත වරද පැටවීමේ ලක්මිණීගේ මෙහෙයුම ඇයගේම සාක්ෂිකරුවන් විසින් කුඩු කර දමනු බලාගැනීමට නම් යන්න ඔීන කොළඹ මහාධිකරණයටය. කොටින්ම ලක්මිණී ගිරිහාගම යටිගිරියෙන් කෑ ගසන දිනය වැඩි ඈතක නොවේ ය. රජය විසින් මෙවැනි යුක්තියට වංචාකරන්නන්, පුද්ගලික ඇජෙන්ඩා දරන්නන් පැමිණිලි මෙහෙයවන්න පත්කිරීමෙන් සත්‍ය යටපත් වෙනවා පමණක් නොව පළවෙනි චූදිත හෙවත් හොර බෙහෙත් නිෂ්පාදකයා සමග සම්බන්ධතා පවත්වන්නියක් පැමිනිල්ල මෙහෙයවන්නට යෙදවීමෙන් සිදුවන්නේත් අධිකරණයට අපහාස කිරීමක් නොවේද?

– Malka Nelligedara

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts