කලාව යනු මිනිස් මනස සුවපත් කරන, රසවින්දනය උදෙසා පවතින උත්තරීතර මාධ්‍යයකි. එහෙත්, වර්තමානය වන විට එම උත්තරීතර කලාවේත්, කලාකරුවාගේත් නාමයට මුවා වී අතිශය නින්දිත මිනිස් ජාවාරමක නිරත වන ශ්‍රී ලාංකික සංවිධානාත්මක කල්ලියක් පිළිබඳව බරපතළ තොරතුරු අනාවරණය වෙමින් පවතී. ආරක්ෂක අංශවල දැඩි අවධානයට ලක්ව ඇති මෙම ජාවාරමේ ප්‍රධාන ගොදුරුබිම බවට පත්ව ඇත්තේ ඕස්ට්‍රේලියාවයි.

ජාවාරමේ මොඩලය – Subclass 408 වීසා අවභාවිතය
ඕස්ට්‍රේලියානු රජය විසින් ලොව පුරා සිටින සැබෑ කලාකරුවන්ට සිය රට තුළ ප්‍රසංග සහ කලා කටයුතු සිදු කිරීම සඳහා විශේෂ වීසා කාණ්ඩයක් හඳුන්වා දී ඇත. ඒ Subclass 408 (Entertainment Visa) ය. මෙම ජාවාරම්කරුවන් සිදු කරන්නේ සංගීත ප්‍රසංග, චිත්‍රපට ප්‍රදර්ශන හෝ නර්තන දැක්මවල් සංවිධානය කරන මුවාවෙන් අතිවිශාල මුදලකට විවිධ පුද්ගලයින් “කලාකරුවන්” හෝ “තාක්ෂණික ශිල්පීන්” ලෙස ලේඛනගත කර ඕස්ට්‍රේලියාවට රිංගවීමයි.
චෝදනාවලට ලක්ව සිටින ප්‍රධාන ජාවාරම්කරුවන් සහ ඔවුන්ගේ මෙහෙයුම්
මෙම මහා පරිමාණ ජාවාරම පිටුපස සිටින ප්‍රධාන ආයතන සහ පුද්ගලයින් කිහිප දෙනෙකු පිළිබඳව මේ වන විටත් තොරතුරු වාර්තා වී ඇත.

(මේ ඡායාරූපයේ සිටින පුද්ගලයා කාරුණික හදවතක් ඇත්තෙකි.)
• ඒ නයින් එන්ටර්ටේන්මන්ට්ස් (A9 Events) – චම්පික චතුරංග:
සංගීත ප්‍රසංග සඳහා ශිල්පීන් ගෙන්වීමේ මුවාවෙන් ඕස්ට්‍රේලියාවට නීති විරෝධී ලෙස පුද්ගලයින් ඇතුළු කිරීම සම්බන්ධයෙන් මොවුන්ට ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වේ. වඩාත් ඛේදනීය තත්ත්වය වන්නේ, ශ්‍රී ලාංකේය සංගීතයේ පුරාවෘත්තයක් බඳු මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවිත කතාව රැගත් “එදා රෑ” චිත්‍රපටය ඕස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනය කිරීම ද මොවුන් විසින් සිදු කර තිබීමයි. සැබෑ කලාකරුවන්ගේ ප්‍රතිරූප පවා තම අරමුණු වෙනුවෙන් මොවුන් පාවිච්චි කරන බවට මෙය කදිම නිදසුනකි.

• අනන්තයා එන්ටර්ටේන්මන්ට් (Anathaya Entertainment) – ශිවංක පීරිස්:
සංගීත කණ්ඩායම් සහ තාක්ෂණික ශිල්පීන් යන ලේබලය අලවා පුද්ගලයින් ඕස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීම මොවුන්ගේ උපක්‍රමයයි. එසේ ගෙන්වා ගන්නා පුද්ගලයින් අවසානයේ නතර වන්නේ ශිවංක පීරිස්ට අයත් ඕස්ට්‍රේලියාවේ ඇති ආපනශාලාවල (Restaurants) කම්කරුවන් ලෙසිනි. මෙය පැහැදිලිවම ශ්‍රම සූරාකෑමක් සහ මානව ජාවාරමකි.
• සිනන්ත ජයතිලක: මොහුගේ ක්‍රියාකලාපය ද A9 Events ආයතනයට සමානය. කලා කටයුතු සඳහා යැයි පවසමින් පිරිස් ගෙන්වා ගන්නා මොහු, පසුව එම පුද්ගලයින්ව තමන්ට අයත් ආපනශාලාවල සේවයට යොදවන බවට බරපතළ චෝදනා එල්ල වී තිබේ.

• ධනුෂ්ක ප්‍රනාන්දු: මොහුගේ මාධ්‍යය වී ඇත්තේ “නර්තනයයි”. නර්තන ප්‍රසංග සංවිධානය කරන මුවාවෙන් ශිල්පීන් සහ නර්තන කණ්ඩායම් ඕස්ට්‍රේලියාවට ගෙන්වා ඇති අතර, ඉන් සැලකිය යුතු පිරිසක් වීසා නීති උල්ලංඝනය කරමින් එහි රැඳී සිටිති. මෑතකදී සංවිධානය කළ නර්තන ප්‍රසංගයකින් ද මෙලෙස පිරිස් පන්නා ඇති අතර, ඒ පිළිබඳව මේ වන විටත් පරීක්ෂණ ඇරඹී ඇත.
කලාව විකුණන කලාකරුවෝම
මෙම ජාවාරමේ ඇති අඳුරුතම සහ පිළිකුල් සහගතම කාරණය වන්නේ, කලා ක්ෂේත්‍රයේම නියැලෙන ප්‍රවීණයන් යැයි කියාගන්නා සමහරුන් ද මීට ඍජුවම සම්බන්ධ වීමයි. ඉහත කී එක් ප්‍රසංගයක් සඳහා පැමිණි ප්‍රධාන පෙළේ ගායකයෙකු මෙම ජාවාරම පිළිබඳව සියල්ල දැනුවත්ව සිට ඇති බවට වාර්තා වේ. එසේම, ධනුෂ්ක ප්‍රනාන්දුගේ නර්තන ජාවාරම සම්බන්ධයෙන් අදාළ නර්තන වින්‍යාසකරුවා (Choreographer) ද දැනුවත්වම ඊට සහයෝගය ලබා දී ඇත. මුදලට කෑදරකමින් සැබෑ කලාවත්, රටේ නාමයත් පාවාදීමට තරම් මොවුන් නිවට වී තිබේ.

(මෙම චායරූපයේ සිටින්නේ හිත හොඳ කල්ලියයි.)
මෙය හුදෙක් පුද්ගලයින් කිහිපදෙනෙකු නීති විරෝධීව වෙනත් රටකට යැවීමක් පමණක් නොවේ. මෙය ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විනාශ කර දමන, අනාගතයේදී සැබෑ දක්ෂතා ඇති ශ්‍රී ලාංකික කලාකරුවන්ට ජාත්‍යන්තර වේදිකාවට යාමට ඇති අවස්ථා සම්පූර්ණයෙන්ම අහුරා දමන සාපරාධී ක්‍රියාවකි.
“කලාව” නම් වූ පූජනීය වස්තුව අලෙවි කරමින් තමන්ගේ මඩිය තරකර ගන්නා මෙම ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුය. එසේ නොමැති වුවහොත්, හෙට දිනයේදී ඕස්ට්‍රේලියාව පමණක් නොව සමස්ත ලෝකයම ශ්‍රී ලාංකික කලාකරුවා දෙස බලන්නේ “කලාකරුවෙකු” ලෙස නොව, “වීසා ජාවාරම්කරුවෙකු” ලෙස වනු නොඅනුමානය.