පල්ලියේ සහාය ඇතිව බලයට පත් වූ මෙම රජයේ ප්‍රමුඛ පොරොන්දුවක් වූයේ 2019 පාස්කු ඉරිදා ප්‍රහාර කුමන්ත්‍රණය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කරන බවය.

එසේවුවත්, හෙළිදරව් කිරීමට  ඇත්ත වශයෙන්ම කුමන්ත්‍රණයක් මේ පිටුපස නොමැති බව මේවන විට රජයද තේරුම් ගෙන ඇති නමුත්, කුමන්ත්‍රණ න්‍යාය ගැන අන්තයටම ගොස් ඇති පල්ලියට සත්‍ය අවබෝධ කිරීම නොකලහැකි බව රජය තේරුම් ගෙන සිටී. 

මෙම ප්‍රශ්නයෙන් ගැලවීමේ උපක්‍රමයක් ලෙස රජය පාස්කු ඉරිදා කොමිෂන් සභා වාර්තාව CIDය වෙත ලබාදුන් අතර දැන් රජයේ ස්ථාවරය වන්නේ ඔවුන් කිසිදු විමර්ශනයකට සම්බන්ධ නොවන නමුත් CIDයට ඔවුන්ගේ විමර්ශනය කිරීමට සහ නීතිමය තන්ත්‍රයට ඉදිරි පියවර ගැනීමට ඉඩදී ඇත යන්නයි.

ඒ අනුව මේවනවිට CIDය පාස්කු ඉරිදා ප්‍රහාර කුමන්ත්‍රණ න්‍යාය කෙසේහෝ ඔප්පු කිරීමේ උත්සාහයක යෙදී සිටී. 

බුද්ධි අංශ විසින් සහරාන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව පමණටත් වඩා අනතුරු ඇඟවීම් ලබා දී තිබුනත් ඒ පිලිබඳව ක්‍රියාත්මක නොවීම ගැන රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර පාස්කු ප්‍රහාරයේ වගකීම වෙනුවෙන් චෝදනා ලබා ඇති පසුබිමක, ඔවුන් දෙදෙනාම මේ පරික්ෂණ සදහා අවශ්‍යමයි යන මතයෙන් පල්ලිය ක්‍රියාකල අතර එම මතයේ යටි අරමුණ පල්ලියේ කුමන්ත්‍රණ න්‍යාය ඔප්පු කිරීමට දැනට ඇති එකම විසදුම මොවුන් දෙදෙනා බවට පල්ලියේ ඇති  උමතු විශ්වාශය බව පෙනේ. 

ශානි අබේසේකර CID අධ්යක්ෂ ලෙස පත්වන්නේ CIDයේ වෙන කිසිවෙකු පුස්සක්වූ පාස්කු කුමන්ත්‍රණය ගැන පල්ලියේ පිටපත ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කල පසුබිමකයි.

CIDය පල්ලියේ අරමුණ ඉටුකිරීමට යොදාගැනීමට සැලසුම් කල නට්‍යයේ ප්‍රදාන නළුවා වූයේ අසාද් මවුලානාවේ. කෙසේවෙතත් අසාද් මවුලානා මේවනවිට තමාගේ මූලික අභිප්‍රායවූ දේශපාලන රැකවරණය ගැන උනන්දුවෙන් සිටින අතර CID නාට්‍යයේ කොටස්කරුවකු වීමට අකමැතිව සිටී. 

අනුව දැන් CIDය පඹගාලක පැටලී සිටින බව පෙනී යන අතර මේ සදහා ඔවුන්ට ඇති ගැලවුම් මාර්ග වන්නේ

 (අ) වෙනත් නළුවෙක් CID නාට්‍ය සදහා ආදේශ කර කුමන්ත්‍රණ න්‍යාය ඔප්පු කිරීමට උත්සාහ කිරීම

 (ආ) මෙම පරීක්ෂණ වෙනත් වෙනත් අන්තවලට ඇද ගෙනගොස් මේසදහා පාර-රාජ්‍යක සම්බන්ධක් ඇති බව පෙන්නා මෙය විසඳීම නොහැකිබව පල්ලියට පෙන්වීම

  (ඇ) නොගැලපෙන න්‍යායන් නිර්මාණය කර මහජනතාව ව්‍යාකූල කර කුමන්ත්‍රණ න්‍යාය සඳහා මහජනතාවගේ රුචිය නැති කිරීම හෝ 

(ඈ) සරලව මේ පිලිබඳ උත්සාහය අතහැරීම.

කෙසේ වෙතත්, CIDය උත්සාහය අතහැරීමට සූදානම් නැත, මන්ද එය ඔවුන්ටද, පල්ලියට ද එසේම රජයට ද සියදිවි නසා ගැනීමක් වන නිසාය. 

චැනල් 4 හි අසාද් මවුලානා පාස්කු කුමන්ත්‍රණය ගැන කල ප්‍රකාශ මත ගොනුකල නඩුව ආශ්‍රිතව කරනු ලබන පරීක්ෂණයටයි අගවමින් 2025 අප්‍රේල් 9 වන දින CIDය පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් අතර පිල්ලෙයාන් 2019 පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව සියල්ල හෙළි කර ඇති බව මහජන ආරක්ෂාව භාර ඇමති පාර්ලිමේන්තුවේදීම පැවසීය. මේ දක්වා ඒ හැර වෙනත් කිසිවක් අසන්නට නොලැබුණි. පාස්කු ප්‍රහාරය සම්බන්ධව අසාද් මවුලානා නොයෙකුත් කතා ගෙතූ සුරේෂ් සලේ ගැන කිසිදු කතාවක් දැන් නැත. 2025 ජූලි 6 වන දින CIDය ඉනියපාරතී ද අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලබාගත් දේ පිලිබඳව කිසිදු තොරතුරක්ද නොමැත. 

මේ අනුව අපේ ‘අති දක්ෂ’ CIDය සැමවිටම වැරදි පාරෙ ගමන් කරනා බවක් පෙනෙන්නට තිබෙන අතරම නයා පෙනයෙන් ඇල්ලීමේ උත්සාහය ව්‍යර්ථව ඇතිබව පෙනේ.

ඒ අනුව දැන් CIDය නයා වලිගයෙන් ඇල්ලීමේ උත්සාහයක යෙදී සිටින බව පෙනේ. 

මේ සදහා CIDය විසින් මෑතකදී කරන ලද නාට්‍යයක් වූයේ මොහොමදු කලීල් මොහොමදු මස්පි නොහොත් නසීර් ලෙස හදුනාගත් හමුදා බුද්ධි අංශයේම තොරතුරුකරුවෙකු ඔවුන්ගේ සාක්ෂිකරුවෙකු ලෙස හඳුන්වා දීමෙන් විමර්ශනවල අවධානය හමුදා බුද්ධි අංශය වෙත යොමු කිරීමයි. මෙම සැලැස්ම 2025 ජූලි 23 වන දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් විසින් අනාවරණය කරන ලදී. කාරියප්පර්ගේ හෙළිදරව්වෙන් පෙනී යන්නේ විමර්ශනවල අවධානය වෙනතකට යොමු කිරීම සඳහා CIDය දැන් හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන්ම බිලීබාමින් ඔවුන්ම හරහා ව්‍යාජ සාක්ෂි හඳුන්වා දෙමින් සිටින බවයි. මෙහි අරමුණ වන්නේ පහල තලයේ බුද්ධි නිළධාරින් බිදවා, අත්තනෝමතිකව ඔවුන් අත්අඩංගුවටගෙන මේ මගින් හෝ පාස්කු ඉරිදා කුමන්ත්‍රණ න්‍යාය සදහා ප්‍රවේශයක් ගැනිමට හැකිදැයි බැලීමයි. නව නළුවා වන මොහොමදු කලීල් මොහොමදු මස්පි නොහොත් නසීර් ඉදිරිපත් වන්නේ, නිසාම් කාරියප්පර් මේ ගැන පර්ලිමේන්තුවේ පවසන්නේ, CID බී වාර්තාව සමාජ මාද්‍ය වෙත මුදාහරින්නේ එම නට්‍යයේම කොටස් ලෙසයි. 

එසේම මෙහි යටි අරමුණ වන්නේ හමුදා බුද්ධි අංශය වවුනතිවු ප්‍රහාරය සහරාන් කලබව CIDයට 2019 අප්‍රේල් 12 දින ලබාදුන් තොරතුරට රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ක්‍රියාත්මක නොවීමේ වගකීම බුද්ධි අංශ වෙත බැරකිරීමයි.

2018 නොවැම්බර් 30 වන දින වවුනතිව්හිදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ පරීක්ෂණ අනාගැනීම CIDයේ නොහැකියාවේ ප්‍රතිමූර්තියකි. 

මේ සඳහා කිසිදු තොරතුරක්, සාක්ෂියක් නොමැතිව, කලබලෙන්, හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකුවූ අජන්තන් නැමැත්තා අකාලයේ අත්අඩංගුවට ගැනීමෙන් සහ එම අත්අඩංගුවට ගැනීම සනාථ කිරීම සඳහා ව්‍යාජ සාක්ෂි (අත්අඩංගුවට ගත් සාමාජිකයාගේ ජැකට්ටුව සහිත බෑගය) හඳුන්වා දීමෙන් පොලිසිය සහ CIDය යන දෙදෙනාම මෙය අවුල් ජාලයක් කළහ. මෙම නාට්‍යය පිටුපස ඇති සත්‍යය දන්නේ පොලිසිය සහ CIDය පමණි. කෙසේ වෙතත්, මෙම තොරතුරු SIS අධ්‍යක්ෂවරයාට ලබා දුන් SIS නිලධාරියාගේ සහ මෙයට සම්බන්ධ වූ මඩකලපුවේ පොලිස් බුද්ධි කොට්ඨාස නිලධාරියාගේ භූමිකාව පරීක්ෂා කලයුතු වේ.

හමුදා බුද්ධි අංශ වවුනතිව් ප්‍රහාරය පිලිබඳව කරන දීර්ඝ පරීක්ෂණ මත මෙම ප්‍රහාරය සහරාන් කලබව 2019 අප්‍රේල් 11 දින සොයාගන්නා අතර එම තොරතුරැ 2019 අප්‍රේල් 12 දිනම CIDය වෙත ලබාදුන්නත් ඔවුන් එයට ක්‍රියාත්මක වන්නේ නැත. මේ වනවිට CIDය අදාල තොරතුර හමුදා බුද්ධි අංශ වෙත ලබාදුන් මොහොමදු කලීල් මොහොමදු මස්පි නොහොත් නසීර් නැමැත්තාම යොදාගනිමින් ඔහුගේම ප්‍රකාශය වෙනස්කිරීමට  පදනම සකස් කරමින් සිටී. 

මේ වන විට, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරට එරෙහිව ඔක්තෝම්බර් මාසයේදී පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඔවුන්ගේ වගවීමට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර අධිකරණයෙන් වියහැකි හානිය අවම කරගැනීමට ඔවුන් දැන් දැන් හේතු සකස් කරමින් සිටී. මේ සදහා CIDය සැමවිටම ගොඩනඟමින් සිටින න්‍යාය නම්, ඔවුන්ගේ පරීක්ෂණ බුද්ධි අංශ විසින් නොමඟ යැවූ බවයි. ඒ අනුව විමර්ශන නොකොට, සාක්ෂි නොමැතිව, යමෙකු දුන් තොරතුරක් මත පදනම්ව පමනක් අපරාද විමර්ශන කරන ලෝකයේ එකම විමර්ශන ආයතනය අපේ CIDය වේ..! 

CIDය මේවනවිට ‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ  මහමොලකරැ’ සෙවීම මෙන්ම පල්ලියේ අවශ්‍යතාවය ඉටුකිරීම අතහැර දමා ඇති අතර ඔක්තෝබර් මාසයේ විභාග වීමට නියමිත අධිකරණ නඩු වලදී රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර බේරා ගැනීමේ අභියෝගය අද්දර සිටී. ඔවුන් ඒ සඳහා විවිධ ප්‍රවේශයන් සහ මග සැකසීමේ ව්‍යාපාර හරහා පදනම සකස් කරමින් සිටී. ප්‍රධාන වශයෙන් බුද්ධි අංශ පිළිබඳ සෘණාත්මක ආකල්පයක් ගොඩනඟමින් සහ බුද්ධි අංශ විසින් CID නොමඟ යවා ඇති බවට සමාජගතකරන ලද පෙර ප්‍රකාශය තහවුරු කරමින් සිටී.

CIDයෙහි මෙම ඇග බේරා ගැනීමේ දෙවන පිටපත වන මොහොමදු කලීල් මොහොමදු මස්පි නොහොත් නසීර් ගේ නාට්‍යය නිසැකව බූමරැංගයක්‍ මෙන් කැරකී එනු ඇති අතර CIDය විසින් කරන මේ අමනෝඥ ක්‍රියා රජය මැදිහත්ව නොනැවත්වුවහොත් එහි හානිපූර්ණයටත් මූනදීමට වන්නෙද  මෙම රජයටමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts