
මෙම රජය පල්ලියේ සහාය ඇතිව බලයට පත් වූ බව නොරහසක් වන අතර, 2019 පාස්කු ඉරිදා ප්‍රහාර කුමන්ත්‍රණය පිටුපස ඇති සත්‍යය හෙළිදරව් කිරීමෙන් රජය පල්ලියට ප්‍රතිඋපකාර කිරීමට නියමිතව තිබුණි.
කෙසේ වෙතත්, හෙළිදරව් කිරීමට තරම් කුමන්ත්‍රණයක් පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස නොමැති බව මේවන විට රජය තේරුම් ගෙන ඇති නමුත්, පල්ලිය කුමන්ත්‍රණ න්‍යාය අන්තයටම ගිල දමා නැවත හැරී පැමිණිය නොහැකි ස්ථානයක සිටින බැවින් දැන් මේ ගැන පල්ලිය තෘප්තිමත් කිරීමට රජයට කල හැකි දෙයක්ද නොමැත.
පල්ලිය මෙම කුමන්ත්‍රණය සෙවීම ගැන රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මත උමතු විශ්වාසයක් තැබු අතර එය පාර්ලිමේන්තුවේදී බිමල් රත්නායකගේම කටින් පැන්න බව සියලුම දෙනා දුටුවෝය. කෙසේවෙතත් බුද්ධි අංශ විසින් සහරාන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව මෙම දෙදෙනාටම පමණටත් වඩා අනතුරු ඇඟවීම් ලබා දී තිබුන පසුබිමක, ඔවුන් දෙදෙනාම 2019 පාස්කු ඉරිදා සිදුවීම වළක්වා නොගැනීම සම්බන්ධයෙන් වැරදිකරුවන් බව සියලු දෙනා දනිති.
පාස්කු ඉරිදා කොමිෂන් සභා වාර්තාව නිකම්ම CIDය වෙත ලබා දීමෙන් රජය කුමන්ත්‍රණයේ සත්‍යය හෙළිදරව් කිරීමේ වගකීම සහ පල්ලියෙන් රජයට එල්ල විය හැකි හෙළිදරව් කිරීම පමාවීමේ වගකීමෙන් ගැලවිනි. දැන් රජයේ ස්ථාවරය වන්නේ ඔවුන් කිසිදු විමර්ශනයකට සම්බන්ධ නොවන නමුත් CIDයට ඔවුන්ගේ විමර්ශනය කිරීමට සහ නීතිමය තන්ත්‍රයට ඉදිරි පියවර ගැනීමට ඉඩදී ඇත යන්නයි.
මේ අනුව දැන් CIDය නිම නොපෙනෙන අන්තයක සිරවී සිටින බව පෙනී යන අතර මේ සදහා ඔවුන්ට ඇති මාර්ග වන්නේ (අ) එළුවෙකු සොයාගෙන බෙල්ල කපා එළුවා කුමන්ත්‍රණයට ඈදීම (ආ) මෙම පරීක්ෂණ වෙනත් වෙනත් අන්තවලට ඇද ගෙනගොස් මේසදහා පාර-රාජ්‍යක සම්බන්ධක් ඇති බව පෙන්නා මෙය විසඳීම මේ කපේදී බැරි බව පෙන්වීම (ඇ) ගැටුම්කාරී මෙන්ම නොගැලපෙන න්‍යායන් නිර්මාණය කර මහජනතාව ව්‍යාකූල කර කුමන්ත්‍රණ න්‍යාය සඳහා මහජනතාවගේ රුචිය නැති කිරීම හෝ (ඈ) සරලව මේ පිලිබඳ උත්සාහය අතහැරීම.
කෙසේ වෙතත්, CIDය උත්සාහය අතහැරීමට සූදානම් නැත, මන්ද එය ඔවුන්ටද, පල්ලියට ද එසේම රජයට ද සියදිවි නසා ගැනීමක් වන නිසාය.
මේ වන විට, රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරට එරෙහිව ඔක්තෝම්බර් මාසයේදී පාස්කු ඉරිදා ප්‍රහාරයේ ඔවුන්ගේ වගවීමට එරෙහිව නඩු පැවරීමට නියමිත අතර අධිකරණයෙන් වියහැකි හානිය අවම කරගැනීමට ඔවුන් දැන් දැන් හේතු සකස් කරමින් සිටී. මේ සදහා CIDය සැමවිටම ගොඩනඟමින් සිටින න්‍යාය නම්, ඔවුන්ගේ පරීක්ෂණ බුද්ධි අංශ විසින් නොමඟ යැවූ බවයි. ඒ අනුව විමර්ශන නොකොට, සාක්ෂි නොමැතිව, යමෙකු දුන් තොරතුරක් මත පදනම්ව පමනක් අපරාද විමර්ශන කරන ලෝකයේ එකම පරීක්ෂණ ආයතනය අපේ CIDය වේ..!
2018 නොවැම්බර් 30 වන දින වවුනතිව්හිදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ පරීක්ෂණ එක උදාහරණයකි.
මේ සඳහා කිසිදු තොරතුරක් නොමැතිව, කලබලෙන්, හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු අකාලයේ අත්අඩංගුවට ගැනීමෙන් සහ එම අත්අඩංගුවට ගැනීම සනාථ කිරීම සඳහා ව්‍යාජ සාක්ෂි (අත්අඩංගුවට ගත් සාමාජිකයාගේ ජැකට්ටුව සහිත බෑගය) හඳුන්වා දීමෙන් පොලිසිය සහ CIDය යන දෙදෙනාම මෙය අවුල් ජාලයක් කළහ. මෙම නාට්‍යය පිටුපස ඇති සත්‍යය දන්නේ පොලිසිය සහ CIDය පමණි. කෙසේ වෙතත්, මෙම තොරතුරු SIS අධ්‍යක්ෂවරයාට ලබා දුන් SIS නිලධාරියාගේ සහ මෙයට සම්බන්ධ වූ මඩකලපුවේ පොලිස් බුද්ධි කොට්ඨාස නිලධාරියාගේ භූමිකාව පරීක්ෂා කලයුතු වේ.
2025 අප්‍රේල් 9 වන දින CIDය පිල්ලෙයාන් අත්අඩංගුවට ගත් අතර පිල්ලෙයාන් 2019 පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳව සියල්ල හෙළි කර ඇති බව මහජන ආරක්ෂාව භාර ඇමති පාර්ලිමේන්තුවේදීම පැවසීය. මේ දක්වා ඒ හැර වෙනත් කිසිවක් අසන්නට නොලැබුණි. 2025 ජූලි 6 වන දින CIDය ඉනියපාරතී ද අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් ලබාගත් දේ පිලිබඳව කිසිදු තොරතුරක් නොමැත. මේ අනුව අපේ ‘අති දක්ෂ’ CIDය සැමවිට වැරදි පාරෙ ගමන් කරනා බවක් පෙනෙන්නට තිබේ.
CIDය විසින් මෑතකදී කරන ලද නාට්‍යයක් වූයේ හමුදා බුද්ධි අංශයේම තොරතුරුකරුවෙකු ඔවුන්ගේ සාක්ෂිකරුවෙකු ලෙස හඳුන්වා දීමෙන් විමර්ශනවල අවධානය හමුදා බුද්ධි අංශය වෙත යොමු කිරීමයි. මෙම සැලැස්ම 2025 ජූලි 23 වන දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් විසින් අනාවරණය කරන ලදී. කාරියප්පර්ගේ හෙළිදරව්වෙන් පෙනී යන්නේ විමර්ශනවල අවධානය වෙනතකට යොමු කිරීම සඳහා CIDය දැන් හමුදා බුද්ධි අංශයේ තොරතුරුකරුවන්ම බිලීබාමින් ඔවුන්ම හරහා ව්‍යාජ සාක්ෂි හඳුන්වා දෙමින් සිටින බවයි.
මෙහි අරමුණ හමුදා බුද්ධි අංශය වවුනතිවු ප්‍රහාරය සහරාන් කලබව CIDය කලින්ම දී තිබු තොරතුරට රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර ක්‍රියාත්මක නොවීමේ වගකීම බුද්ධි අංශ වෙත බැරකිරීමයි.
CIDය දැන් ‘පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොලකරැ’ සෙවීම අතහැර දමා ඇති අතර ඔක්තෝබර් මාසයේ විභාග වීමට නියමිත අධිකරණ නඩු වලදී රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර බේරා ගැනීමේ අභියෝගය අද්දර සිටී. ඔවුන් ඒ සඳහා විවිධ ප්‍රවේශයන් සහ කන්ඩිෂනින් ව්‍යාපාර හරහා පදනම සකස් කරමින් සිටී. ප්‍රධාන වශයෙන් බුද්ධි අංශ පිළිබඳ සෘණාත්මක ආකල්පයක් ගොඩනඟමින් සහ බුද්ධි අංශ විසින් CID නොමඟ යවා ඇති බවට සමාජගතකරන ලද පෙර ප්‍රකාශය තහවුරු කරමින් සිටී.
CIDයෙහි මෙම ඇග බේරා ගැනීමේ නාට්‍යය නිසැකවම, ඉක්මනින් බූමරැංගයක් මෙන් කැරකී නැවත එනු ඇති අතර රජය CIDය විසින් කරන මේ ක්‍රියාව නොනැවත්වුවහොත් එහි හානිපූර්ණයටත් මූනදීමට වන්නෙද රජයටමය.