
ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විත්තිකරුවන් 12 දෙනෙකුට විරුද්ධව විභාග වන නඩුව මේ සතියේ දින කිහිපයක් පුරාම විභාග විය. එය ආරම්භ වූයේ 9 වැනි විත්තිකරු වන ඖෂධ නිෂ්පාදන සැපයුම් නියාමන අංශයේ වෛද්‍ය නිලධාරී බුත්පිටිය ලේකම්ලාගේ දොන් ජයනාත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රාහුල් ජයතිලක පෙනහළු ආබාධයක් හේතුවෙන් ආසිරි රෝහලට ඇතුළත් කර ඇති බවට නීතිඥ අමිත ආරියරත්න විසින් නඩු විභාගය ආරම්භයේදීම අධිකරණයට දැනුම් දීමත් සමඟිනි.
එහෙත්, නඩු විභාගයේ නිල වාර්තාවලට හසු නොවන, අධිකරණ ශාලාව තුළ සැබෑවටම දිගහැරෙන ඛේදවාචකය සහ නීතියේ ආධිපත්‍යය ප්‍රශ්න කෙරෙන අඳුරු කතන්දරය මීට වඩා බොහෝ සෙයින් වෙනස්ය.
විත්තියේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ හදිස්සිය
නීතිඥ රාහුල් ජයතිලක රෝහල්ගත වීම හේතුවෙන් 9 වැනි චූදිතයා වෙනුවෙන් පෙනී සිටීමට වෙනත් අයෙකුට නොහැකි බවත්, සේවාදායකයාගේ උපදෙස් නොමැතිව හරස් ප්‍රශ්න වලදී විරෝධතා දැක්විය නොහැකි බවත් නීතිඥ අමිත ආරියරත්න අධිකරණයට පෙන්වා දුන්නේය. සාමාන්‍ය ක්‍රමවේදය අනුව මෙවැනි අවස්ථාවකදී සේවාදායකයාට මෙන්ම නීතිඥවරයාටද සිදුවන අගතිය වළක්වාලීම සඳහා නඩු විභාගය තාවකාලිකව නතර කළ යුතුව තිබිණි. එහෙත් අපරාධ නඩු විභාග සංග්‍රහයේ 450, 241 වගන්ති අනුව යමින්, සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ පැය භාගයකට නඩුව අත්හිටුවා නැවත පැමිණ, හරස් ප්‍රශ්න ඇසීම දිගටම කරගෙන යන ලෙස නියෝග කළේය.
ඒ අනුව, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මූලික ප්‍රශ්න අසන අවස්ථාව වන විට අදාළ විත්තිකරුගේ නීතිඥවරයා අධිකරණයේ සිටියේ නැත. පසුදිනද රෝගී තත්ත්වය මත ඔහුට අධිකරණයට පැමිණීමට නොහැකි වූ විට, පෙර දින සාක්ෂි විභාගය හෝ හරස් ප්‍රශ්න ගැන කිසිදු අවබෝධයක් නැති වෙනත් නීතිඥවරයෙකු ගෙන්වා ගන්නා ලෙසට බලපෑම් කෙරිණි. (පසුව නීතිඥ චරිතා මධුවන්ති පෙනී සිටියද ඇය හරස් ප්‍රශ්න ඇසීමෙන් වැළකී සිටියාය). ට්‍රයල් එකක් මෙලෙස විත්තියට සම්පූර්ණ අගතියක් වන අයුරින් කලබලයෙන් අවසන් කිරීමට දරන උත්සාහය, අනාගතයේදී අභියාචනයකට යාමට හොඳම පදනමක් සකසන බව සාමාන්‍ය නීතිඥයෙකුට වුවද පැහැදිලිය.

පැමිණිල්ලේ සාක්ෂි ගොනුකිරීම දුර්වලයි: පෙන්ඩින් ඕඩර්ස් සහ CIDයේ ‘තෝරාගත්’ වාර්තා
මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි ගොනුකිරීම කෙතරම් දුර්වලද යන්න තහවුරු වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ නිලධාරී මොහොමඩ් ජාවාස් අබ්දුල් කාදර්ගේ සාක්ෂි විභාගයේදීය. ඖෂධ 182 කට අදාළව ඉදිරිපත් කර තිබූ ‘පැ 293’ සහ ‘පැ 294’ ලේඛන සම්බන්ධයෙන් නීතිඥ නුවන් ජයවර්ධන, නීතිඥ අශෝක සේරසිංහ, නීතිඥ අසේල සේරසිංහ සහ නීතිඥ ප්‍රියන්ත නාවාන ඇතුළු විත්තියේ නීතිඥවරු කළ හරස් ප්‍රශ්න ඇසීමේදී බරපතල කරුණු රැසක් එළියට පැමිණියේය.
කිසිදු අධිකරණ නියෝගයකින් තොරව, නිල ක්‍රමවේදය වූ සහකාර අධ්‍යක්ෂ සන්දරප්පෙරුම මහතා හරහා නොගොස්, CID නිලධාරියෙකු විසින් අතින් ගෙනැවිත් දුන්, දිනයක් හෝ නොමැති ලිපියකට අනුව මෙම වාර්තා සකස් කර ඇති බව සාක්ෂිකරු පිළිගත්තේය. “පෙන්ඩින් ඕඩර්ස්” (Pending Orders) තිබියදී අලුතින් ඖෂධ ඇණවුම් කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රශ්න කෙරිණි. විගණන වාර්තාවල පවා පෙන්ඩින් ඕඩර්ස් වසර 5ක් තරම් පැරණි ඒවා බවත්, උදාහරණයක් ලෙස 2018 දී ඇණවුම් කළ හියුමන් ඉමියුනොග්ලොබියුලින් 24,200ක තොගය 2022 වන තුරුත් සම්පූර්ණයෙන් ලැබී නොතිබූ බවත් අධිකරණයේදී තහවුරු විය.
එනම්, පෙන්ඩින් ඕඩර් එකක් තිබූ පමණින් බෙහෙත් නියමිත දිනට නොලැබෙන බවත්, ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අලුතින් ඇණවුම් දැමීම එකල අත්‍යවශ්‍ය වූ බවත් මින් පැහැදිලි වේ. තවද, මෙම දත්තවල නිරවද්‍යතාව පරීක්ෂා කළ හැකි එකම ක්‍රමය වන ‘Activity Log’ (විගණන වාර්තාව) පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක ඉල්ලා නොතිබූ බව තොරතුරු තාක්ෂණ නිලධාරියා පිළිගත්තේය. සම්පූර්ණ තොරතුරු වසන් කරමින්, තෝරාගත් කරුණු පමණක් අධිකරණයට ඉදිරිපත් කිරීම සාධාරණ නඩු විභාගයක්ද? අද වන විට රෝහල්වල එන්නත් කටුවේ සිට බයිපාස් සැත්කම්වලට අවශ්‍ය රුපියල් ලක්ෂ එකහමාරක පමණ උපකරණ පවා පිටින් ගේන්නට සිදුවී තිබුණත්, මීඩියා හෝ GMOA වැනි වෘත්තීය සමිති අද නිහඬය.

සැබෑ අර්බුදය: රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ බංකොලොත්භාවය
නඩුවේ කතාව තවත් පැහැදිලි වන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) වැඩ බලන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ගණකාධිකාරී (ආදායම්) ඩයනා නිශාන්ති දේව සුරේන්ද්‍ර මහත්මියගේ සාක්ෂියෙනි. නීතිඥ නයන්ත විජේසේකර සහ අසේල සේරසිංහ ඇසූ හරස් ප්‍රශ්න හමුවේ ඇය හෙළි කළේ 2022/2023 කාලයේ රටේ පැවති දැවැන්ත ඩොලර් අර්බුදය සහ SPC ආයතනය මුහුණ දුන් ඛේදනීය මූල්‍ය තත්ත්වයයි.
2022 අගෝස්තු වන විට සංස්ථාව ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් රුපියල් මිලියන 16,000 ක (බිලියන 16ක) බැංකු අයිරාවක් ලබාගෙන තිබූ අතර, එහි පොලිය පමණක් රුපියල් මිලියන 1,668 ක් විය. 2022 දෙසැම්බර් වන විට වෛද්‍ය සැපයුම් ඒකකය මගින් සංස්ථාවට රුපියල් බිලියන 51.3 ක හිඟයක් තිබූ බවත්, එවකට සභාපති සරත් ලියනගේ මහතා විසින් මෙම අර්බුදය පෙන්වා දෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට 2022 ඔක්තෝබර් 04 සහ 2023 මාර්තු 16 යන දිනවල නිල වශයෙන් ලිපි යවා ඇති බවත් ඇය තහවුරු කළාය. සංස්ථාවට බාධාවකින් තොරව (smooth supply) ඖෂධ සැපයිය නොහැකි බව ඔවුන් ලිඛිතවම දන්වා තිබියදී, හදිසි මිලදී ගැනීම් හරහා හෝ රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට ගත් තීරණ අද අපරාධයක් ලෙස පෙන්වීමට හැදීම කෙතරම් සාධාරණද?
විනිසුරු තීරණ තකන්නෙ නැතිව ප්‍රතිපක්ෂව කතාකරන්නේ මොන හයියකටද?
මේ සියලු කරුණු මධ්‍යයේ, ලක්මිණී ගිරිහාගමගේ හැසිරීම අධිකරණ සම්ප්‍රදායන්ට දැඩි ලෙස නිගා දෙන සුළු විය.

සාක්ෂිකරුවෙකුගෙන් (තොරතුරු තාක්ෂණ නිලධාරියාගෙන්) අනවශ්‍ය ලෙස නැවත නැවතත් එකම කරුණු ප්‍රශ්න කරන විට, විනිසුරු ප්‍රියන්ත ලියනගේ සාක්ෂිකරුව පිටතට යවා ලක්මිණී ගිරිහාගමට අපූරු අවවාදයක් දුන්නේය:
“කෑමක් හදනකොට වුණත් වැඩිපුර ලුණු ඇඹුල් දාන්න ගියහම කෑමේ රහ නැතිවෙලා යනවා. ඒ නිසා වැඩිපුර ලුණු ඇඹුල් දාන්න එපා. හරියට ගාණට කෑම එක උයලා තිබ්බහම හරි. ප්‍රොසිකියුෂන් එකේ රැකියාව ඒක.” එහෙත් විනිසුරුගේ අවවාදයට ලක්මිණී ලබා දුන්නේ අධිකරණ සම්ප්‍රදායට කිසිසේත් නොගැළපෙන පිළිතුරකි:
“ඔබතුමා දන්නේ නැහැ, මමනේ දන්නේ මම කරන්නේ මොකක්ද කියලා. මම දන්නවා වැඩිපුර ලුණු ඇඹුල් දාලා කෑම එක හොඳට හදලා ගන්න. ඒක මට කියන්න එපා.”
“මෙසේ විනිසුරුවරුන්ටත් ඉහළින් යමින්, ඔවුන්ගේ තීරණ තකන්නේ නැතිව ප්‍රතිපක්ෂව කෑගසන්නට ලක්මිණී ගිරිහාගමට ඇති හයිය කුමක්ද?”

නීතිඥ රාහුල් ජයතිලක මුල් කාලයේදී විනිසුරුවරුන් සමඟ සුළු තර්කයකට ගිය විට ඔහුට ‘Contempt of Court'(අධිකරණයට අපහාස කිරීමේ) චෝදනා දමන බවට අනතුරු ඇඟවූ විනිසුරුවරුන්, ලක්මිණී ඉදිරියේ නිහඬ වන්නේ ඇයි? මේ පිටුපස ඇගේ කණ්ඩායමේ (batchmate) සිටින විනිසුරු විරාජ් සහ නීතිපති දෙපාර්තමේන්තුවේම සේවය කරන ඔහුගේ බිරිඳ ඇතුළු ජාලයක සම්බන්ධයක් පවතීද? එසේත් නැතිනම්, ආසිරි රෝහලට අදාළ අශෝක පතිරගේගේ නඩුවෙන් මුදල් ලබාගත්තා යැයි කියන කටකතා සහ ඇයට රජයෙන් පොරොන්දු වී ඇතැයි කියන අභියාචනාධිකරණයේ විනිසුරු ධුරයේ බලයද? ඇය අභියාචනාධිකරණ විනිසුරුවරියක වූ දිනක ලංකාවේ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අත්වන ඉරණම සිතාගැනීමටත් අපහසුය. විනිසුරු නාවාන සහ ප්‍රියන්ත ලියනගේට පවා මෙම ‘ඉහළින් පැමිණි මැන්ඩේට් එකේ’ විකාරරූපී ස්වභාවය දැන් තේරුම් ගොස් ඇති බව ඔවුන්ගේ හැසිරීමෙන් පෙනේ.
කිසිදු නඩුවක් දිනලා නෑ! ප්‍රධාන චූදිතයා අමතක කළ අපූරු නඩුව
මේ දක්වා නඩුවේ ප්‍රධාන චූදිතයා (පළමු විත්තිකරු – බෙහෙත නිෂ්පාදනය කළ පුද්ගලයා) සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ගෙනහැර දක්වා නැත. සෙසු සියලු විත්තිකරුවන් සිටින්නේ ආධාර සහ අනුබල දීමේ (Aiding and Abetting) චෝදනා මතය. නීතියේ සරලම සිද්ධාන්තය වන්නේ, ආධාර අනුබල දීමක් ඔප්පු කිරීමට පෙර ප්‍රධාන අපරාධය සහ ප්‍රධාන චූදිතයාගේ වරද ඔප්පු කර සිටිය යුතු බවයි. එය නොකර, අතුරු චූදිතයන් පස්සේ පමණක් පන්නන්නේ ඇයි?
නීති ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග පවසන පරිදි “කිසිදු දවසක නඩුවක් දිනා නැති” බවට ප්‍රකට ලක්මිණී ගිරිහාගම, මේ නඩුවත් වසර ගණනාවක් දිග්ගස්සා අවසානයේ අතහැර දැමීමට මාන බලනවා විය හැකිය. සාක්ෂි ගොනුකිරීමේ පදනමක් නැතිකම, සාක්ෂි වසන් කරමින් ගොතන ලද රහස් පොලිස් වාර්තා සහ අධිකරණය හමුවේ රඟදක්වන හිතුවක්කාරී නාටකය පෙන්නුම් කරන්නේ, මෙය යුක්තිය පසිඳලීමට වඩා න්‍යායපත්‍රයක් මත දිවෙන තවත් එක් දේශපාලනික දඩයමක් බව නොවේද?
– මල්කා නෙල්ලිගෙදර