
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ හිටපු ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහන්ත අබේසූරිය මහතා 2025 ජුනි 19 වන දිනදා අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස පත් කරන ලදී.
මෙම පත්වීම අධිකරණය තුළ, විශේෂයෙන් අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් අතර සැලකිය යුතු මතභේදයක් ඇති කර තිබේ.
අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිව සිටි විනිසුරු මොහොමඩ් ලෆාර් පසුගියදා විශ්‍රාම ගත් අතර එකී සභාපති පුරප්පාඩුවට අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන ඉතා ගෞරවනීය චරිතයක් විනිසුරු එස්.යූ.බී. කරල්ලියද්ද, පත් වනු ඇතැයි නීති ක්ෂේත්රයේ බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව විය.
එහෙත්, බොහෝ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් මඟ හරිමින්, විනිසුරු ක්ෂේත්රයෙන් පරිබාහිර අයෙකු තෝරා ගැනීමට රජය ගත් තීරණය පිළිබඳව ඇතැම් ජ්‍යෙෂ්ඨ විනිසුරන් මේවනවිට විවෘතව තම අප්‍රසාදය පළ කර ඇත.
මෙම තෝරාගත් පත්වීම අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ කුසලතා මත පදනම් වූ ප්‍රගතියට හානි කරන බවත්, ඔවුන්ගේ අනාගත ශ්‍රේෂ්ඨාධිකරණ උසස්වීම අනතුරේ හෙළිය හැකි බවත් ඇතැම් ජ්‍යෙෂ්ඨ විනිසුරන් තර්ක කරති.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ගවලට අනුව, අභියාචනාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් පස් දෙනෙකු අබේසූරිය මහතාගේ පත්වීම සම්බන්ධයෙන් තම අතෘප්තිය ප්‍රකාශ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකර ඇතැයි වාර්තාවේ.
ජනාධිපතිවරයාට එම ලිපිය යොමුකරමින් , විනිසුරු කරල්ලියද්දේ ද තම අප්‍රසාදය හා කනස්සල්ල පළ කර ඇතැයි වාර්තාවේ..
තේරීම් ක්‍රියාවලිය සහ අධිකරණ ස්වාධීනත්වයට එහි ඇඟවුම් කෙරෙහි විශ්වාසය නැතිවීම ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයාට ලිපි ඉදිරිපත් කළ පස් දෙනා අතර ආර්. ගුරුසිංහ සහ ගනේපොල යන විනිසුරුවරුන් ද වන බව ඉහත ආරංචිමාර්ග තවදුරටත් පවසයි.
අභියාචනාධිකරණවල වැඩිම වසර ගණනාවක අත්දැකීම් ඇති අයකු අගවිනිසුරු කරන්නයි බලපෑම්
——————————————————————————————-
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මේ මස 27 දා විශ්‍රාම යාමට නියමිත බැවින්, ඇයගෙන් පසු අභියාචනාධිකරණවල (Superior Appellate Court) වැඩිම වසර ගණනාවක අත්දැකීම් ඇති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු අගවිනිසුරු ලෙස පත් කරන්නැයි නීති කවයන් තුලින් ජනාධිපතිවරයා වෙත දැඩි බලපෑමක් එල්ල වෙමින් තිබෙන බවද වාර්තාවේ.