පඬුරු පෙට්ටියට වැඩේ දෙන්න ගිය කපුවන්ගෙන් කතරගම බස්නායක නිලමේටත් තර්ජන ?
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ පඬුරු ගැන පහුගිය කාලේ රටම කතා වෙන්න පටන් ගත්තේ ඒ දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර ඒ පඬුරුවලින් රෝහල් හදන්න පටන් ගැනීමත් එක්කයි.
මෙතෙක් කාලයක් කතරගම දේවාලයේ කපුවන්ට සින්න වෙලා තිබුණු පඬුරු මුදල් එයින් පස්සේ ඇත්තටම කතරගම දෙවියන්ට පින් පිණිසත් රටේ සුවාසූ දහසක් ජනතාවගේත් රටේ අනාගත පරපුරේත් සුබ සාධනය පිණිසත් යොමුවුණා.
මේ පින්කම දැකලා කතරගම දේවාලයේ බැතිමතුන් වගේම රටේම ජනතාව ඉත සිතින්ම සතුටු වුණත් එක කට්ටියක් හිටියේ හොඳටෝම කේන්තියෙන්. ඒ තමයි මෙතුවක් කාලයක් මිලියන ගණනින් මේ පඬුරු මුදල් තමන්ගේත් තමන්ගේ පවුල්වලත් පමණක් සුබ සිද්ධිය වෙනුවෙන් වැය කරපු කපුවන් ටික.
කතරගම දෙවියන් වෙනුවෙන් පූජා කරන පඬුරු කපු මහතුන් අතට නොදී එහි ඇති පඬුරු පෙට්ටියට, එහෙමත් නැතිනම් “මුදල් ආධාර පෙට්ටියට” දාන්නය කියලා බස්නායක නිලමේතුමා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියේම ඉල්ලා සිටියා. ඒ මුදල් දෙවියන්ට පින් පිණිස ජනතා සුබසෙත වෙනුවෙන් වැය කරන ආකාරය හැමෝටම දැකබලා ගන්න සලස්වපු නිලමේතුමා ලංකාවේ පළවෙනි වතාවට දේවාලයේ ආදායම් විගණනයක් කරලා ඒකත් හැමෝටම බලාගන්න ප්‍රසිද්ධ කළා.
කොහොමවුණත් කපුවොත් පරාජය බාරගන්න සූදානම් වෙලා නෑ. ඒ අය කොහොමින් නමුත් මේ පඬුරු මුදල් තමන්ගේ සාක්කුවට ගන්න හිතාගෙන අලුත් වැඩක් පටන් අරන්. ඒ තමයි පඬුරු දාන්න මුදල් ආධාර පෙට්ටිය ළඟට බැතිමතුන්ට තමන්ගේ මුදල් පෙට්ටියට දාන්න නොදී එතනම තියාගෙන ඉන්න වට්ටියකට දාන්න බලකරන එක.
මේ ගැන ආරංචි වුණු වහාම කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර කතරගම පොලීසියට මේ ගැන පැමිණිල්ලක් කරලා. මොකද මේ පඬුරු පෙට්ටිය අයිති බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයට. ඒ පඬුරු පෙට්ටියේ යතුරු තියෙන්නෙත් විගණන නිලධාරීන් ගාව විතරයි. ඉතින් ඒ පඬුරු පෙට්ටියට යා යුතු මුදල් ඊට යන්න නොදී අවහිර කරලා තමන් අතට කවුරුන් විසින් හෝ ගන්නවා නම් ඒක සාපරාධී සාවද්‍ය පරිහරණය කියන වරදට වැටෙන වැඩක්.
ඒ අනුව, බස්නායක නිලමේවරයාගේ පැමිණිල්ලෙන් පස්සේ කතරගම පොලීසියෙන් ඇවිත් මේ පඬුරු පෙට්ටිය ළඟ ඉඳන් පඬුරු ටිකට විදින්න ගිය කපුවෝ දෙන්නා අත් අඩංගුවට අරන්.
ඊටපස්සේ කතරගම දේවාලයේ සමස්ත කපු සනුහරයම කතරගම පොලීසියට ගිහින් පොලිස් නිලධාරීන්ටත් බැන වැදිලා ඩෙඟාවක් නටලා කියලා ආරංචියි. ඒ වගේම කපුවන් දැන් දේශපාලන අධිකාරිය ඇතුළු විවිධ පිරිස් සම්බන්ධ කරගෙන මේ පැමිණිල්ල අයින් කරගන්න කියලා බස්නායක නිලමේතුමාට තර්ජනය කරමින් ඉන්නවා කියලාත් ආරංචිමාර්ග සඳහන් කරනවා.