අධිකරණයේ ස්වාධීනත්වය ‘සුනඛාලේප’ කළ සූරසේනගේ ‘G-මන්ත්‍රය’: “Don’t Make the Government Uncomfortable!”
විශේෂ විමර්ශනාත්මක වාර්තාවකි – Watchdog Today කණ්ඩායම
ලංකාවේ සමස්ත අධිකරණ පද්ධතියම මින් පෙර කිසිදා නොවූ විරූ ආකාරයේ දැඩි අර්බුදයකට සහ දේශපාලන න්‍යාය පත්රයකට හසුකර ගනිමින්, වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සාධාරණත්වයේ දෙවොල කෙළෙසමින් සිටින බව අතිශය විශ්වාසකටයුතු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ ‘Watchdog Today’ වෙත වාර්තා වේ. තමන්ගේ නිල ධූරකාලය තවත් වසර දෙකකින් දීර්ඝ කරගැනීමේ පටු, පෞද්ගලික ලාභය වෙනුවෙන් වත්මන් ආණ්ඩුවට ගැතිකම් කරමින්, ඔහු මේ වන විට සමස්ත විනිසුරුවරුන්ටම මහා හිසරදයක් සහ මාරාන්තික තර්ජනයක් වී අවසානය.අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ සේවය කරන මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, මහාධිකරණ විනිසුරුවරුන් සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන් මේ වන විට සූරසේනගේ මෙම ඒකාධිපති සහ නොමනා බලපෑම් හමුවේ දැඩි පීඩනයකට ලක්ව සිටිති.

සතිපතා කැඳවන “ඇගයීම්” පිටුපස ඇති නග්න බලපෑම
අධිකරණ ක්ෂේත්රයේ ප්‍රසිද්ධ රහසක් බවට පත්ව ඇති පරිදි, සෑම සතියක් ආරම්භයේදීම විනිසුරුවරුන්ව අගවිනිසුරු සූරසේනගේ නිල කාර්යාලය වෙත කැඳවනු ලැබේ. එහිදී සිදුවන්නේ පවතින නඩු පිළිබඳ ප්‍රගතිය විමසීමක් පමණක් නොවේ. දේශපාලනික වශයෙන් සංවේදී නඩු සම්බන්ධයෙන් විනිසුරුවරුන්ට ඍජුවම උපදෙස් දීම, නියෝග වෙනස් කිරීමට බලපෑම් කිරීම සහ වක්‍රාකාරව තර්ජනය කිරීම මෙහිදී අඛණ්ඩව සිදුවෙමින් පවතී.
මේ වන විට වත්මන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නලින් රොහාන්ත අබේසුරිය මහතා ද අගවිනිසුරුවරයාගේ මෙම දේශපාලන දඩයමේ ගොදුරක් වී ඇතැයි වාර්තා වේ. නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ කාලයේ සිටම සූරසේන කෙරෙහි දැඩි භීතියකින් කටයුතු කළ අබේසුරිය විනිසුරුවරයාට, නඩු තීන්දු සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා නිතර නිතර බැණ වදිමින් දැඩි පීඩනයක් එල්ල කරන බව වෘත්තීය මට්ටමින් අතිශය භයානක තත්ත්වයක් නිර්මාණය කර තිබේ.
සූරසේනගේ රාජ්‍ය පාඨය: “DONT MAKE THE GOVERNMENT UNCOMFORTABLE”
අගවිනිසුරු සූරසේන තමන් හමුවට කැඳවන සෑම විනිසුරුවරයෙකුටම අමතක නොකර දෙන දේශපාලන පාඩමක් ඇත. ඒ වෙන කිසිවක් නොව, “DONT MAKE THE GOVERNMENT UNCOMFORTABLE” (ආණ්ඩුව අපහසුතාවයට පත් නොකරන්න) යන්නයි.

මෙය හුදු වාචික ප්‍රකාශයක් පමණක් නොවන බව පසුගිය මාස 5-6 ක කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ලබාදුන් දේශපාලන හිතවාදී තීන්දු දෙස බැලීමේදී පැහැදිලි වේ. අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම තීන්දු සියල්ලම අගවිනිසුරුවරයාගේ “ආණ්ඩුව රැකීමේ” ව්‍යාපෘතියේ ප්‍රතිඵල බවයි.
බහුතර විනිසුරු තීන්දුවට පිටුපෑ සූරසේනගේ නග්න ස්වරූපය
අගවිනිසුරු සූරසේන පුරවැසියාගේ මූලික අයිතිවාසිකම් සහ අධිකරණයේ ස්වාධීනත්වය පාවාදෙන ආකාරය පිළිබඳ ප්‍රබලම සාක්ෂියක් මෑතකදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාර්තා විය.
2017 වසරේදී පවුල් ආරවුලකට මැදි වූ පාර්ශවයක අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ප්‍රියලාල් චමින්ද සිරිසේන නම් නීතිඥවරයාගේ වෘත්තීය කටයුතුවලට බාධා කරමින්, එවකට මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක වුට්ලර් උදයකුමාර සහ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති මදුශංක ඩයස් යන පොලිස් නිලධාරීන් විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් විභාග විය.

මෙම පෙත්සම විභාග කළේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
1.බහුතර තීන්දුව (විනිසුරු ජනක් ද සිල්වා සහ කුමුදුනී වික්‍රමසිංහ):

පොලිසිය විසින් නීතිඥවරයාගේ මූලික අයිතිවාසිකම් නින්දිත ලෙස උල්ලංඝනය කර ඇති බව තීන්දු කළ අතර, වුට්ලර් උදයකුමාරට රුපියල් 60,000 ක් සහ මධුශංක ඩයස්ට රුපියල් 30,000 ක් සිය පෞද්ගලික මුදලින් වන්දි ලෙස ගෙවන ලෙස නියෝග කළේය. ඊට අමතරව රුපියල් 10,000 බැගින් නඩු ගාස්තු ගෙවීමටද නියෝග කෙරිණි.
2.අගවිනිසුරු සූරසේනගේ තීන්දුව:
බහුතර විනිසුරු තීන්දුවට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ සහ ස්වාධීන නීති ක්ෂේත්රයම මවිතයට පත් කරමින් අගවිනිසුරු සූරසේන ප්‍රකාශ කළේ මෙම සිදුවීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුව නැති බවයි!
පොලිස් නිලධාරීන් (රාජ්‍ය පාර්ශවය) ආරක්ෂා කිරීම වෙනුවෙන් පුරවැසියාගේ සහ නීතිඥ වෘත්තියේ අභිමානය පාවාදීමට අගවිනිසුරුවරයා මෙහිදී නොපැකිළිව කටයුතු කර ඇති බව පැහැදිලිය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නොනැමෙන කොඳු නාරටි
මෙවැනි බියගුලු සහ ගැති වටපිටාවක් තුළ වුවද, අගවිනිසුරුවරයාගේ මෙම දේශපාලන න්‍යාය පත්‍රයට සහ තර්ජනවලට හිස නොනමන සෘජු විනිසුරුවන් කිහිපදෙනෙකු තවමත් ශ්‍රේෂ්ඨාධිකරණය තුළ ඉතිරිව සිටීම රටේ වාසනාවකි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන ජනක් ද සිල්වා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් අගවිනිසුරුවරයාගේ බලපෑම් ශීර්ෂයෙන් ප්‍රතික්ෂේප කරමින් නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින විනිසුරුවන් අතර පෙරමුණේම සිටින බව වාර්තා වේ.



Watchdog Today අනතුරු ඇඟවීම!
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පුරවැසියාට සහතික කර ඇති අධිකරණයේ ස්වාධීනත්වය, අගවිනිසුරුවරයාගේ “ධූර කාලය දික්කර ගැනීමේ” සිඟමන් ව්‍යාපෘතිය වෙනුවෙන් බිල්ලට දීමට ඉඩ දිය නොහැක. අගවිනිසුරුවරයෙකු දේශපාලන පන්දම්කරුවෙකු වන විට රටක යුක්තිය පසිඳලීමේ පද්ධතිය මියයයි.
මීළඟ හෙළිදරව්වට සූදානම් වන්න:
පල්ලේගම හේමරතන හිමියන්ට ඇප ලබාදීම සඳහා අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා වෙත අගවිනිසුරු සූරසේන විසින් එල්ල කරන ලද දැඩි දේශපාලන බලපෑම සහ එහි සියලු හඬපට, ලේඛන සහිත නිරුවත ඉදිරියේදී Watchdog Today තුළින් රටටම හෙළි කරමු! යුක්තිය වෙනුවෙන් සටන අත්නොහරිමු!