රාජ්‍ය යාන්ත්‍රණය විසින් ගොඩනගනු ලබන මනෝරාජික ආඛ්‍යානයන්, යථාර්ථයේ රළු ගැටීම් හමුවේ ඛණ්ඩනය වී යන ආකාරය ඉමියුනොග්ලොබියුලින් නඩු විභාගයේ ගෙවීගිය සතියේ කටයුතු නිරීක්ෂණය කරන ඕනෑම අයෙකුට පෙනී යන්නකි.

යුක්තිය පසිඳලීම යනු කෙසේ හෝ නඩුවක් ගොතා පැමිණිල්ල ජයගැනීමේ හුදු තරගයක් නෙවේ. එසේ කිරීමට යෑමෙන් සමස්ත නීති පද්ධතියම හාස්‍යයට ලක්වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම ප්‍රමුඛ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටම පෙන්වා දීමට විත්තියේ නීතිඥවරුන්ට පසුගිය සතියේදී හැකි විය.

මේ නිසා කාලය සහ මහජන බදු මුදල් අමු අමුවේ නාස්ති කරමින් පැමිණිල්ල විසින් ගොඩනැගූ සංකේතීය ලෝකය සාක්ෂි කූඩුව තුළදීම පුපුරා ගියේ විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ අතිශය හාස්‍යජනක දෙබස් පෙළක් නිර්මාණය කරමිනි.

සතිය ආරම්භ වූයේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවා සම්බන්ධ කරගනිමින්, විශාල පරිශ්‍රමයක් දරා වීඩියෝ තාක්ෂණය ඔස්සේ කැඳවූ ඉන්දියාවේ “Live Health Bio Pharma” සමාගමේ අභ්‍යන්තර කළමනාකරුවෙකුගේ සාක්ෂියකිනි. ලක්මිණි ගිරිහාගමගේ මූලික විමසීම්වලදී, තම සමාගම පිළිකා ඖෂධ හෝ ඉමියුනොග්ලොබියුලින් නිපදවන්නේ නැති බව ඔහු පැවසුවද, පළමු චූදිතයාගේ නීතිඥ හරේන්ද්‍ර බානගල ගේ හරස් ප්‍රශ්න කිරීම් හමුවේ මෙම “ප්‍රධාන සාක්ෂිකරුගේ” ප්‍රායෝගික දැනුමේ ශුන්‍යත්වය මනාව හෙළි විය.

හරේන්ද්‍ර බානගල: – “ඔයා කොහොමද එතකොට මේ සිද්ධිය වෙන අවස්ථාවේදී ඔයා මෙතන වැඩ කළා කියන්නේ?”

සාක්ෂිකරු- “නෑ.” (ඔහු සේවයට බැඳී ඇත්තේ 2023 නොවැම්බර් මාසයේදීය)


හරේන්ද්‍ර බානගල:- “ඔයා සුදත් ජනක ප්‍රනාන්දුට අඳුරන්නේ නැහැයි කියලා කිව්වට, ඔයා ඊට කලින් සුදත් ජනක ප්‍රනාන්දු ඔය ෆැක්ට්‍රි එක විසිට් කරාද, ඕඩර්ස් දැම්මද කියලා දන්නවද?”


සාක්ෂිකරු: “නෑ මම ඒක දන්නේ නැහැ, මම නිකන් කොළ බලලා තමයි නිරීක්ෂණය කළේ.”


හරේන්ද්‍ර බානගල: “එතකොට දන්නවද 2023 නොවැම්බර් මාසෙට කලින් මොකක්ද සිද්ධ වුණේ කියලා?” සාක්ෂිකරු: “ඒක මම දන්නේ නැහැ. මට කවුරුහරි කියපු කරුණු මත තමයි මට කියන්න පුළුවන් මම හිටපු නැති හින්දා.”


හරේන්ද්‍ර බානගල: “ඔබතුමා කිව්වා අමුද්‍රව්‍යවත් නැහැ කියලා. ඔබතුමාගේ වෙබ්සයිට් එක පරිහරණය කරලා තියෙනවද? වෙබ්සයිට් එකේ මේක තියෙනවා කියලා දන්නවද?”


සාක්ෂිකරු: “ඔව් පරිහරණය කරලා තියෙනවා. නෑ මම ලංකාවට ආපු දිනේ ඉඳන් පරිහරණය කළේ නෑ.” හරේන්ද්‍ර බානගල: “ලයිව් හෙල්ත් බයෝ ෆාමා කම්පැනියට ඇඩ්‍රස් කීයක් තියෙනවද?”


සාක්ෂිකරු: “ඉන්දියාවේ ඇඩ්‍රස් තුනක් තියෙනවා.”


හරේන්ද්‍ර බානගල: “ඔබතුමා දන්නවද යූකේ ලන්ඩන් වලත් ඔෆිස් එකක් තියෙනවා කියලා? ඇයි ඒක කිව්වේ නැත්තේ? වෙබ්සයිට් එකේ දාලා තියෙන්නේ ඉන්දියාවේ ඇඩ්‍රස් දෙකයි නේද?”


සාක්ෂිකරු: “ඔව් මම දන්නවා. ඒක වෙයාහවුස් එක… මම දන්න ටික තමයි මම කියන්නේ.”


හරේන්ද්‍ර බානගල: “අඩුම තරමේ වෙබ්සයිට් එක වැඩ කරනවද කියලාවත් බලලා ද ආවේ?”


සාක්ෂිකරු: “නෑ මම එහෙම බලලා ආවේ නැහැ. වෙබ්සයිට් එකේ තියෙන සියලුම කරුණු ගැන මට පෞද්ගලිකව දැනුවත්වීමක් නැහැ.”

සිද්ධියට අදාළ කාලයේ සේවය පවා නොකළ, තම ආයතනයේ වෙබ් අඩවිය ගැනවත් හරියාකාරව නොදන්නා පුද්ගලයෙකු රාජ්‍ය තාන්ත්‍රික සම්පත් යොදාගෙන සාක්ෂියට කැඳවීමෙන් පැමිණිල්ල මෙහෙයවන ලක්මිණී සිදුකර ඇත්තේ හුදු හාස්‍යජනක රංගනයක් බව මින් තහවුරු විය.

මීළඟට සාක්ෂි කූඩුවට නැගුණේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) සහ SAFRAK කමිටුවේ නිලධාරිනියක වන උදේශිකාය. ඇයගේ අත්සනවත් නොමැති, පාලිකා නමැති වෙනත් නිලධාරිනියකගේ අත්සන සහිත ලේඛන ඇය හරහා ලකුණු කිරීමට ලක්මිණි ගිරිහාගම උත්සාහ කිරීමේදී විත්තිය දැඩි විරෝධයක් පෑවේය. අත්සනක් තහවුරු කිරීමට රජයේ රස පරීක්ෂකවරයා අවශ්‍ය වුවද, “මාත් එක්ක වැඩ කළ නිසා මම අත්සන අඳුරනවා” යන පදනම මත පැමිණිල්ල කටයුතු කිරීම නීති තර්කයන්ට කළ නිගාවකි. එහෙත් සැබෑ ඛේදවාචකය දිගහැරුණේ නීතිඥ විරාජ් වීරසූරිය ගේ හරස් ප්‍රශ්න කිරීමේදීය.

විරාජ් වීරසූරිය: “ඔබතුමියට අගෝස්තු 28 වෙනකොට ජාතික රෝහලේ ඇලජික් රිඇක්ෂන් එකක් ඇවිල්ලා තියෙනවා. මේක ඔබතුමියගේ වගකීම නේද? ඇයි ඊළඟ මීටින් එකට දැම්මේ නැත්තේ?”

උදේශිකා: “ඔව් ස්වාමීනි මගේ වගකීම. මට ඊළඟ මීටින් එකට (අගෝස්තු 31) දාන්න කාලය මදි වුණා… විශේෂ උපදෙසක් ආවේ නැති නිසා මං ඒක ඊළඟ කමිටුවට (ඔක්තෝබර් 11) දාන්න තියාගෙන හිටියේ.”

විරාජ් වීරසූරිය: “ඔබතුමිය රජයේ රෝහල් වලින් බෙහෙත් ගන්නවද?”

උදේශිකා: “ඔව් ස්වාමීනි මම ඇඩ්මිට් වෙලත් ඉඳලා තියෙනවා. ඒ වුණාට මම දන්නේ නැහැ මේ ඉන්ඩෝ ෆාමසි වලින් බෙහෙත් නිකුත් කරන විදිහ.”

විරාජ් වීරසූරිය: “ප්‍රොෆෙසර් රජීව් සැප්තැම්බර් 20 වෙනිදා වට්සැප් මැසේජ් එකක් දාලා තියෙනවා නේද ‘ඉමීඩියට්ලි විත්හෝල්ඩ්’ (Immediately Withhold) කරන්න කියලා? ඇයි ඉමීඩියට්ලි කරන්නේ නැතුව පහුවෙනිදා වෙනකන් හිටියේ?”

උදේශිකා: “ස්වාමීනි මම මේක මැසේජ් එක එවන්නේ ප්‍රොෆෙසර් රජීව් හැන්දෑවේ හතරට විතර. අපි හැන්දෑවේ හතරට වැඩ ඕෆ් වෙලා සාගරිකා කෝච්චියේ ගෙදර යන්නේ. කෝච්චිය යන්නේ 4.15ට විතර. මම කෝච්චියට නැගලා ටික දුරක් යනකන් ඉඳලා තමයි මැසේජස් බැලුවේ. එදා මට ඉඳගන්නත් හම්බවුනේ නැහැ හිටගෙනයි ගියේ. ඒ නිසා මම බලනකොට ඊමේල් එක යවාගන්න පරක්කු වුණා. මම පහුවෙනිදා 4.50 ට විතර ඊමේල් එකක් යැව්වා.”

විරාජ් වීරසූරිය: “ඔබතුමිය මොකක්ද මේ වගකීම් විරහිතව නේද කටයුතු කරලා තියෙන්නේ?”
උදේශිකා: “ස්වාමීනි මට පැය 24ක වැඩ මුරයක් නැහැ. මම හතරට වැඩ ඕෆ් වෙනවා.”

රෝගීන්ගේ ජීවිත මරණයත් සමඟ සටන් කරද්දී, ඊට වඩා සාගරිකා කෝච්චියේ අසුනක් වටිනා බව සිතන මෙවැනි වගකීම් විරහිත නිලධාරීන් මතින් පැමිණිල්ල සිය නඩුව ගොඩනැගීම අතිශය ඛේදනීය තත්ත්වයකි. එහෙත් නඩුවේ වඩාත්ම තීරණාත්මක සහ පැමිණිල්ලේ නිරුවත සම්පූර්ණයෙන්ම හෙළි කළ අවස්ථාව වූයේ මින්දුලි ජයමාන්න නමැති අමාත්‍ය කාර්ය මණ්ඩල නිලධාරිනියගේ සාක්ෂියයි. පෙර දින ලබාදුන් අධිකරණ නියෝග පවා උල්ලංඝනය කරමින්, (ලක්මිණි ගිරිහාගමගේ කනිෂ්ඨ නීතිඥවරිය වූ නටාෂා ඩයල්විස් හරහා වෙනත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ නම් යවමින්) හොර රහසේම ඇයව සාක්ෂියට කැඳවා තිබුණි. ඇය විසින් සකස් කළා යැයි කියන 2022 සැප්තැම්බර් 05 සහ ඔක්තෝබර් 10 යන දිනවල රැස්වීම් වාර්තා (Meeting Minutes) පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඍජුවම සම්බන්ධ බව පෙන්වීමටය.

ලක්මිණී ගිරිහාගම: “මේවා ඔයාද හැදුවේ? මොකක්ද මේක හදන්න තිබ්බ උවමනාව?”

මින්දුලි: “ඔව් මම තමයි හැදුවේ. අමාත්‍යතුමාට පේන්න විතරයි මේ මීටින් මිනිට් හැදුවේ. කාටවත් යැව්වෙත් නැහැ, පෙන්නුවෙත් නැහැ. සාමාන්‍යයෙන් මම නෙමෙයි හදන්නේ, එරංගා නැති දවසට විතරයි මම හදන්නේ.”

ලක්මිණී ගිරිහාගම: “සැප්තැම්බර් 5 වෙනිදා උදේ 10ට මීටින් එක හෙබෙව්වේ කෙහෙළිය රඹුක්වැල්ලද?”

මින්දුලි: “ඔව් එයා තමයි හිටියේ. සෞඛ්‍ය අමාත්‍යතුමා කියපු ඒවා තමයි මම ලිව්වේ.”
නුවන් ජයවර්ධන (6 වන චූදිතගේ නීතිඥ): “ඔබතුමිය කීයක් විතර මීටින් මිනිට්ස් මේ අවුරුද්දක කාල පරිච්ඡේදයේ හදලා තියෙනවද?”

මින්දුලි: “අටක් දහයක් විතර තමයි මම කරේ.”


මෙම මනරම් ගොඩනැගීම සුනුවිසුනු වී ගියේ 8 වන චූදිතගේ නීතිඥ නයන්‍ත විජේසුන්දර ගේ හරස් ප්‍රශ්න කිරීම් ආරම්භ වීමත් සමගය.

නයන්ත විජේසුන්දර: “මීටින් මිනිට්ස් වල දින ඔබතුමියට උපරිම විශ්වාසයි නේ?”
මින්දුලි: “ඔව් මට සහතික කරලා කියන්න පුළුවන්. මම එතන හිටියා, ඇමතිතුමාත් හිටියා, ඒ හිටපු ඒවා තමයි මම ලිව්වේ.”
නයන්ත විජේසුන්දර (විනිසුරු දෙසට හැරෙමින්): “ස්වාමීනි සැප්තැම්බර් පස්වෙනි දින කෙහෙළිය රඹුක්වැල්ල ලංකාවෙත් නෑ! ඔහු ආසියා පැසිෆික් ඩබ්ලිව්.එච්.ඕ කොන්ෆරන්ස් එකට භූතාන රාජ්‍යයට ගිහිල්ලා හිටියේ. දහයයි දහය මීටින් එකේදී ඔහු හිටියේ කටුනායක ෆාමසූටිකල් ෆැක්ට්‍රි ඕපනින් එකක ජනාධිපති රනිල් වික්‍රමසිංහ, රාජිත සේනාරත්න, සාගල රත්නායක ඇතුළු පිරිසක් එක්ක. මීටින් එකේ හිටියා කියන අතිරේක ලේකම්ලා ඔක්කොමත් හිටියේ කටුනායක!”

මෙම අවස්ථාවේදී “නොතැනියාව නෝටිස්” එකක් දී නොමැති බව පවසමින් ලක්මිණි ගිරිහාගම යටිගිරියෙන් කෑගැසුවද, නයන්‍ත විජේසුන්දර තර්ක කළේ නොතැනියාව අදාළ වන්නේ අපරාධයක් සිදුවූ ස්ථානයකට පමණක් බවත්, මෙම රැස්වීම අපරාධයක් නම් මාස 11ක් තිස්සේ නඩු නොඅසා ඊට සහභාගී වූ සියල්ලන්ම අත්අඩංගුවට ගත යුතු බවත්ය.

විනිසුරු ප්‍රියන්ත ලියනගේ පැමිණිල්ලට වාසිදායක ලෙස අදාළ තර්කය ප්‍රතික්ෂේප කළ ද, වෙනත් සාක්ෂිකරුවෙකු වන විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ වත්මන් ලේකම් (හිටපු සෞඛ්‍ය අතිරේක ලේකම්) නවාරි මහතා පවා තමන් එවැනි රැස්වීමකට සහභාගී නොවූ බවත්, එම ලේඛනය දැකවත් නොමැති බවත් ප්‍රකාශ කිරීම හමුවේ මෙම කූට ලේඛන ජාවාරම මුළුමනින්ම නිරුවත් විය.

නයන්ත විජේසුන්දර: “ඔබතුමියට විරුද්ධව අමාත්‍යාංශයේ ඉන්ටර්නල් ඉන්ක්වාරි එකක් යනවා නේද? මොකක් සම්බන්ධයෙන්ද?”

මින්දුලි: “ස්වාමීනි මං ඒක කියන්න ඕනෙද මෙතන? … මට චෝදනාව තියෙන්නේ මම බොරු කියලා අමාත්‍යාංශයේ නොමග යැව්වා කියලා.”


නයන්ත විජේසුන්දර: “කෝ ඔයාගේ මුල් සටහන්? කෝ කම්පියුටර් එකේ?”


මින්දුලි: “මුල් සටහන් මම විසි කරනවා. අමාත්‍යවරයෙක් අයින් වෙලා යනකොට ඒ ලේඛන අපි ඩිලීට් කරනවා.”


නයන්ත විජේසුන්දර: “කියවන්නේ නැතුවද ඔබතුමිය අස්සන් කරේ?”


මින්දුලි: “ඔව් මම අස්සන් කරා මම කියෙව්වේ නැහැ.”


නයන්ත විජේසුන්දර: “ඩොකියුමන්ට් එකේ ස්ටේප්ලර් කටු ගලවලා ගහලා හිල් හතරකට වඩා තියෙනවා. ඔබතුමියද ගලවලා ගැහුවේ?”


මින්දුලි: “නෑ ස්වාමීනි මම ගහන්නේ වැඩිම වුනොත් ස්ටේප්ලර් කටු දෙකයි… එහෙනම් කවුද මේවා කරේ කියලා මම දන්නේ නැහැ.”

ලක්මිණීගේ අයිස් පෙට්ටි සාක්ෂිය

මෙම කූට ලේඛන හමුවේ නීතිපති දෙපාර්තමේන්තුව තම සමස්ත නඩුවම රඳවා තබා ගැනීම හාස්‍යජනකය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය තවදුරටත් විහිළුවට ලක්වූයේ අර්ජුන පද්මපෙරුම සහ ලක්සිරි යන නිලධාරීන්ගේ ජර්මානු සංචාරය හෙළිවීමත් සමඟය. ඖෂධ සාම්පල ජර්මනියට රැගෙන ගොස් ඇත්තේ කිසිදු ආරක්ෂිත පේනු (Plug) ක්‍රමවේදයකින් තොරව, සාමාන්‍ය ගුවන් මගියෙකු ලෙස අයිස් පෙට්ටියක බහාගෙනය. නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා විසින් මෙම අක්‍රමවත් ක්‍රියාවලිය දැඩි ලෙස ප්‍රශ්න කෙරුණු අතර, මෙය හුදු විනෝද චාරිකාවක් පමණක් බව අධිකරණය හමුවේ තහවුරු විය.

කිසිදු පදනමක් නැති සාක්ෂි සහ සැකකටයුතු ලෙස වෙනස් කළ කූට ලේඛන මත පදනම් වෙමින් පුද්ගලයින් මාස ගණනාවක් රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම කෙතරම් අමානුෂිකද යන්න දැන් සමාජය ඉදිරියේ ඇති ප්‍රබලතම ප්‍රශ්නයයි.

මේ අතර විත්තියේ හරස් ප්‍රශ්න හමුවේ පැමිණිල්ලේ නඩුව බිඳ වැටෙද්දී, එහි කලකිරීම අධිකරණයේ ස්ටාෆ් එක සහ ලඝුලේඛකයින් වෙත පවා පිටවෙමින් පවතින බව අධිකරණයෙන් වාර්තා වේ. මෙම සම්පූර්ණ විගඩම අවසානයේදී 11 වන චූදිතයාගේ නීතිඥ අමිත ආරියරත්න ට ලක්මිණි ගිරිහාගම දෙස බලා, “නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට ඉස්සෙල්ලා ගිහිල්ලා නඩු කරන හැටි ඉගෙන ගන්න කියන්න” යැයි පැවසීමට සිදුවීමම පැමිණිල්ලේ අන්ත බංකොලොත්භාවය කියාපායි. නීතිය යනු තමන්ට ඔිනා අයකු දඩයම් කිරීමට ගොතන ලද කතාන්දරයක් නොව, සත්‍යය මත පදනම් වූ යථාර්ථයක් බව ලක්මිණීලා වැනි කෙටි පාරෙන් උසස්වීම් ගන්නට මාන බලන පැමිණිලි මෙහෙයවන්නන් කඩිනමින් අවබෝධ කරගත යුතුව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts