
ශ්‍රී ලංකාවේ වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම පුරප්පාඩුවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පත්කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුවේ තිබෙන සූදානම ගැන අධිකරණ ක්ෂේත්රයේ දැඩි කතාබහක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ. නීති ක්ෂේත්රයේ උගතුන්, ඉහළ පෙලේ නීතිවේදීන්, බෞද්ධ, හින්දු හා කතෝලික ආගමික සංස්ථාවන්, දේශපාලනඥයන්, හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම රටේ විවිධ සමාජ සංවිධාන මේ පිළිබඳ බලවත් සේ අප්‍රසාදය පළ කර ඇතැයි කියති.
ඔවුන් පවසන්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ රටේ ඓතිහාසික ජනවරමක් ලබාගෙන මන්ත්‍රීධූර 159ක බහුතර ආණ්ඩුවක් පිහිටුවන්නේ මැතිවරණ වේදිකාවේ ඔවුන් ජනතාවට ලබා දුන් ආකර්ෂණීය පොරොන්දු හා බලාපොරොත්තු නිසා බවයි. විශේෂයෙන්ම මේ රටේ අල්ලස දූෂණ නාස්තිය නිමාකර, රටේ සම්පත් හා මහජන දේපළ කොල්ල කෑ හා හොරකම්කළ චෞරයන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කර දඬුවම් දීම සඳහා දුන් පොරොන්දු ජනතාව මත මහත් පෙළඹුමක් ඇති කළහ.
ජයග්රහණයෙන් පසුව නීති ක්ෂේත්රයේ එතෙක් පැවති අඩුපාඩු අක්‍රමිකතා හා දුර්වලතා නිමකර පුළුල් පරිවර්තනයක් ඇති කර නීතිගරුක යුක්තිගරුක සර්වසාධාරණ සමාජයක් බිහිකිරීම සඳහා අපක්ෂපාතී අධිකරණ පද්ධතියක් මේ රටේ ස්ථාපිත වෙතැයි ජනතාව බලාපොරොත්තු වූහ.
ප්‍රීති පද්මන් සූරසේන වැනි දේශපාලන උවමනා එපා කම් මත වැඩ කළ, පක්ෂග්රාහී, ස්වාධීන නොවූ අයෙකු නීති ක්ෂේත්රයේ මුදුන් මල්කඩ වන් තනතුරකට පත් වුවහෙත් ජනතාව බලාපොරොත්තු වූ ආකර්ශනීය පරිවර්තනය කෙසේ සිදුවෙන්නේදැයි ප්‍රීති පද්මන් සූරසෙන ගැන හොඳින් දන්නා නීති ක්ෂේත්රයේ වියතුන් උගතුන් ප්‍රශ්න කරන්නට පටන් ගෙන ඇතැයි වාර්තාවේ.
වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය මේ රටේ 48 වැනි අගවිනිසුරු ලෙස පත්වීම ලබන්නේ 2018 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩු සමයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ලෙස පත්වීමක් ලැබ වසර 6 කුත් දින 268 ක සේවා කාලයකින් අනතුරුව 2024 දෙසැම්බර් මස 02 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිවයි. නියමිත සේවා කාලය අවසන්කර අගවිනිසුරුවරිය 2025 ජූලි මස අවසානයේදී විශ්‍රාම ගැනීමට නියමිතව සිටියි.
ඒ අනුව එතුමියගෙන් හිස්වන අගවිනිසුරු ධූරය සඳහා දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු කරන මෙරට නීති ක්ෂේත්රයේ ඉහළම සුදුසුකම් ඇති අපක්ෂපාතී ස්වාධීන විනිසුරුවරයෙකු ජනාධිපතිවරයා විසින් නම් කළ යුතු වේ. මේ මස අග පමණ වන විට නම් කිරීම සිදුවිය යුතු යැයි නීති ආරංචි මාර්ග පවසයි.
ඒත් ජනාධිපතිවරයා බොහෝ දුරට එම තනතුර සඳහා පහුගිය යහපාලන ආණ්ඩුව සමයේ සිටම එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ සමඟ දැඩි විශ්වාසයක් මෙන්ම අවබෝධයක් පවත්වාගෙන ගිය ප්‍රීති පද්මන් සූරසේන මහතා නම් කිරීමට ඇති ඉඩකඩ වැඩිය. රජය එම පත්කිරීම කළහොත් ජනතාව මහින්ද රාජපක්ෂ සමයේ නීතිවේදී මොහාන් පීරිස් අග විනිසුරු කළාට වඩා වැඩි වෙනස කුමක්දැයි නීති ක්ෂේත්රයේ උගතුන් වියතුන් ප්‍රශ්න කරන්නට පටන්ගෙන ඇත…
එසේ වුවහොත් ජනතාව බලාපොරොත්තු වූ යුක්තිගරුක නීතිගරුක විනය ගරුක සර්ව සාධාරණ අධිකරණ පද්ධතිය හා නීති ක්ෂේත්රයේ පරිවර්තනය කෙසේ නම් සිදුවේද.. එම තනතුර ගැන ප්‍රශ්න කරන නීතිවේදීන් බුද්ධිමතුන් හා සමාජ බලවේග ඔහුගේ දුර්වලතා හා නුසුදුසුකම් ලෙස මතු කරන කරුණු මෙසේය…
ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ ක්ෂේත්රයේ නිසි පරිදි සුදුසුකම් සපුරා ජ්‍යෙෂ්ඨත්වය මත වෘත්තීය ක්ෂේත්රයේ ඉහළට ඉහළට ආ කෙනෙකු නොවේ.
උපන්ගෙයි දකුණේ හම්බන්තොට සිංහල බෞද්ධ පවුලක උපන් සාඩම්බර රුහුණු පුත්‍රයෙකු වූ අප කතා නායක සූරසේන මහතා සිය වෘත්තියේ ජීවිතය ආරම්භ කරන්නේ නාවික හමුදාවේ නිලධාරියකු හැටියටය. අභ්‍යන්තර හේතුවක් මත ඔහුට නාවික හමුදා රැකියාවෙන් ඉතා වේලාසන විශ්‍රාම ගැනීමට සිදුවන අතර ඔහු පිළිබඳ තොරතුරු ඇතුළත් නාවික හමුදාවේ ලිපිගොනුව පවා අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ.
එතනින් පසුව නීතිය හදාරා නීතිපති දෙපාර්තමේන්තුවේ රැකියාවකට එන ප්‍රීති පද්මන් සූරසේන මහතා හොඳ ආරම්භයක් සනිටුහන් කරයි. ඔහු මහාධිකරණ විනිසුරුවරයකු වන්නේ මහින්ද ජනාධිපතිවරයා වගකීම් දරන සමයේය. රාජපක්ෂ සමයේ අවසාන භාගයේ පද්මන් සූරසේන මහතා ජනතා විමුක්ති පෙරමුණ හා අවබෝධයෙන් කටයුතු කරන අතර ඒ අවබෝධය මත යහපාලන ආණ්ඩුව බලයට පත් කර ගැනීම සඳහා දායකත්වය සපයයි.
ඉන් පසුව යහපාලන ආණ්ඩුව සමඟ ඉතා යහපත් ගනුදෙනුවක් අරඹන මේ සූර මහාධිකරණ විනිසුරුවරයා යහපාලන ආණ්ඩුවේ උවමනා එපාා කම් මත මහින්ද රාජපක්ෂට එරෙහි නීතිමය ක්‍රියාන්විතය ආරම්භ කිරීමට නායකත්වය සපයයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකගේ හා එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම හා උපදෙස් මත රාජපක්ෂවරු හා ඔවුන්ගේ ගජ මිතුරුවරු දඩයම් කිරීම සඳහා නිලයාන්ත්රණයක් සාදා ගැනීමට එක් පැත්තකින් ජනාධිපති ලේකම් කාරයාලය යටතේ දූෂණ විරෝධී කමිටුව ස්ථාපිතකරයි.
අනිත් පැත්තෙන් රාජපක්ෂවරුන්ගේ වංචා දූෂණ හා අක්රමිකතාවන් සොයා ඒවාට නීතිමය පදනමක් ලබා ගැනීම පිනිස ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරනු ලබන්නේද ප්‍රීති පද්මන්ට සූරසේන මහතාගේ නායකත්වය පිටයි. ප්‍රීති පද්මන් සූරසේන, විකුම් කලුආරච්චි, ගිහාන් කුළතුංග, අමෙන්ද්‍ර සෙනෙවිරත්න යන විනිසුරුවන් හතර දෙනාත් විශ්‍රාමලත් පරිපාලන නිලධාරියකුත් ජනාධිපතිවරයා මෙම කමිටුව වෙත නම් කරයි. රාජපක්ෂවරු දඩයමට හා රාජපක්ෂවරු සමඟ සිටි සහපිරිවර දඩයමට අවශ්‍ය නීතිමය පසුබිමක් සහිත ලිය කියවිලි යහ පාලන ආණ්ඩුවට සාදා දෙන්නේ එම කමිටුවේ සූරසේන කලුවාරච්චි හා කුලතුංග යන නීතිවේදීන් තිදෙනාගේ නිර්දේශ මතයි. මෙහිදී මධ්‍යස්ථ මතධාරියකු ලෙස නීතිය ප්‍රකාරව කටයුතු කළ අමේන්ද්‍ර සෙනවිරත්නට කමිටුව තුල වූ පීඩනය දරා ගත නොහැකි විය. අවසානයේ ඔහු අකාලයේ හෘදයාබාධයකින් මරණයට පත්විය. විනිසුරු ආමේන්ද්රගේ පවුලේ උදවිය එම මරණය පසුබිමේ කීවේ එම ජනාධිපති කමිටුවේ පීඩනය දරා ගත නොහැකිව තම ඥාතිවරයා රෝගාතුරව මරණය ළගාකරගත් බවයි.
සූරසේන විනිසුරුතුමා සාදා දුන් වාර්තා යටතේ එෆ් සී අයි ඩිය හා අල්ලස් කොමිසම පරීක්ෂණ පවත්වා බැසිල් රාජපක්ෂට හා රාජපක්ෂවරුන් සමග සිටි මැති ඇමතිවරු හා නිලධාරීන් රාශියකට උසාවියේ නඩු පවරන්නට වූහ. බැසිල්ලා එක පෝලිමට උසාවි යන්නට පටන් ගත්තේ සූරසේනගේ එම මෙහෙවර නිසාය.
එම මෙහෙවර වෙනුවෙන් ජනාධිපතිවරයා ඔහු වෙත ලබා දුන් ප්‍රතිලාභය ද සුළුපටු නැත
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙන ඕනෑ තරම් සුදුස්සෝ මහාධිකරණයේ සිටියදී ප්‍රීති පද්මන් සූරසේන යටින් ඇද උඩට ගෙන අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස නම් කරයි. තව ටික කලකින් එහි සභාපති විනිසුරුවරයා ලෙස නම් කරනු ලැබීය. එතනද ඔහුට වැඩි කලක් ඉන්නට දුන්නේ නැත. ඔහුගේ ඉක්මන් ගමනේ ඊළඟ ගමනාන්තය වූයේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයයි.
දේශපාලන න්යායපත්ර ඉටුකරමින් රාජපක්ෂ දඩයමට අවශ්‍ය ලිපි ලේඛන සාදමින් ජීවිතයේ වැඩිම කලක් නීති කෘත්‍යයේ නිරත වූ සූරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමා හරි විදියට නීතියානුකූලව ක්‍රමානුකූලව ගමන පැමිණියේ නම් ඔහු තාමත් සිටියය යුත්තේ අභියාචනාධිකරණයේ පහලින් සිටින විනිසුරුවරයකු ලෙස බව මේ පිළිබඳ විවේචන සපයන නීති උගතුන් විද්වතුන් පෙන්වා දෙයි.
රාජපක්ෂ දඩයම ආගම කරගත් මෙම විනිසුරුවරයා ජනතා විමුක්ති පෙරමුණේ දැඩි හිතවාදියෙකි. එහෙත් ඔහුට ජනතාව විමුක්ති පෙරමුණවිසින් දී ඇත්තේ මොනවාද…
ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ පියා හම්බන්තොට ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල පාක්ෂිකයෙක් ලෙස ක්‍රියා ක්‍රියාකල අයෙකි. එජාප ශාඛා කමිටුවක ලේ කම් වරයෙකු ලෙස ක්‍රියාකාරීව දේශපාලනය කළ මේ පුද්ගලයා 88/89 බීෂණ සමයේ අමු අගුවේ වෙඩි තබා ඝාතනය කළේද ජනතා විමුක්ති පෙරමුණයි.
නීති ක්ෂේත්රයේ ඇතැම් උගතුන් විමසන්නේ ප්‍රීති පද්මන් සූරසේන වැනි දේශපාලන හේතූන් මත ඉදිරියට පැමිණි තම හිතවතෙකුට ජනතා විමුක්ති පෙරමුණ මේ තරම් ලොකු ණයක් ගෙවන්නේ අතීතයේ තම පක්ෂය වෙතින් සිදු වූ වරදට වන්දි ගෙවීමත් ලෙසද කියාය.
ප්‍රීති පද්මන් සූරසේනගේ ඊළඟ නුසුදුසු කම ලෙස නීති ක්ෂේත්රයේ උගතුන් බුද්ධිමතුන් දකින්නේ මේ වන විට ඔහු වහා වැටී ඇති ආගමික නිකායයි.
ඔහු “බෝන් අගේන්” නම් ක්‍රිස්තියානි ආගමික නිකායේ උද්යෝගිමත් සාමාජිකයකු ලෙස ප්රකටය. මේ නිසා ආගමික සංස්ථාවන්ටද ඔහුගේ මේ ඊළඟ පියවරේ තානාන්තරය බරපතල ගැටලුවක් බව බව සැකයක් නැත.
මේ රජයෙන් කෙරෙන බොහෝ පත්වීම්වලට කාදිනල් තුමාගේ මැදිහත්වීම බලපානා බව රහසක් නොවේ. අතීතයේ සිදු වූ කුප්‍රකට සමුදා කුමන්ත්රණයේ පටන් මේ දක්වා කතෝලිකයෙකු හට හමුදාපති තනතුරක් ලබා දීම සිදු වූයේ නැත. එනමුත් වර්තමාන යුධ හමුදාපතිවරයා කතෝලිකයකුත් වුවත් ඔහුට හමුදාපති තනතුර ලබා දෙන්නට කාදිනල් තුමාමැදිහත් විය.
එහෙත් අගවිනිසුරු පදවිය ප්‍රීති පද්මන් සූරසේනට ලබා දීම සම්බන්ධයෙන් ඔහු තුළ ඇත්තේ විරෝධයකි. ඊට හේතුව බෝන් අගේන් නිකායකයින්ගෙන් රෝමානු කතේලික ලබ්දිකයින්ට එල්ල වී ඇති ආගමට හරවා ගැනීමේ අභියෝගයයි. සූරසේන වැනි බෝන් අගේන් ගැති විනිශ්චයකාරවරයෙකු මේ රටේ අගවිනිසුරු පදවියට පත්වීම බෝන් අගේන් ප්‍රවර්ධනයට ලොකු රුකුලක් වනු ඇතැයි කාදිනල් විශ්වාස කරයි.
බෝන් අගේන් ලබ්ධිකයෙකුට බෞද්ධයින් බහුතරයක් සිටින රටේ අගවිනිසුරු බදු තීරණාත්මක පදවියක් ලබා දීම එතරම් නුවණක්කාර කටයුත්තක් නොවන බව මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ ද අදහසයි. පසුගියදා මල් වතු අස්ගිරි කාරක සභාවන් රැස්වී මේ පිළිබඳ ජනාධිපතිවරයාට කරුණු කියන්නට හා අවවාද කරන්නට තීරණයක් ගත් බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගයේ පුනරුද ආණ්ඩුව මේ රටේ ජනතාව විසින් 68 ලක්ෂයක චන්ද ප්‍රමාණයක් ලබාදී බහුතරයකින් පත් කරගත්තේ නීති ක්ෂේත්රයේ හා මේ රටේ අධිකරණ පද්ධතියේ පුළුල් පරිවර්තනයක් දකිනු රිසිවය. අධිකරණ ක්ෂේත්රයේ උසස් තනතුරුවලට සුදුස්සන් පත් කිරීමේ දී පහුගිය ආණ්ඩු කළ කී ක්‍රියා පිළිවෙත මේ ආණ්ඩුව නොකරනු ඇතැයි ජනතාව තරයේ විශ්වාස කළහ. එහෙත් වර්තමානයේ අනුර කුමාරගේ පුනරුද ආණ්ඩුවත් කටයුතු කරන්නේ මීට පෙර පැවැති ආණ්ඩු කටයුතු කළ අන්දමට ම නම් පෙර ආණ්ඩුත් මේ ආණ්ඩුවත් අතර ඇති වෙනස කුමක්ද…
ප්‍රීති පද්මන් සූරසේන මේ රටේ අගවිනිසුරු පදවියෙන් පිදුම් ලබනු ඇතිද. එසේ නම් එයින් කියැවෙන්නේ නිසැකයෙන්ම වත්මන් ආණ්ඩුවත් මීට පෙර තිබූ ආණ්ඩුත් අතර ජනතාව බලාපොරොත්තු වූ වෙනස සිහිනයක් පමණක් වනු ඇති බවයි.