මාතර වැලිගම ඩබ්ලිව් ෆිෆ්ටීන් හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට චෝදනා ලැබ සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් 6 දෙනාට ඇප ලබාදී සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් හට පමණක් ඇප ලබා නොදීම යුක්තියේ මූලධර්මවලට පටහැනිදැයි නීති ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ.
දේශබන්ධු තෙන්නකෝන් එම සිදුවීම වූ අවස්ථාවේ එහි නොසිටීමත් අපරාධ විමර්ශනයට හෝ සාක්ෂිවලට බලපෑම් කිරීමට සෙසු සැකකරුවන්ට අහිමි විභවය ඔහුට ද අදාළ වීමත් මුල් කරගෙන මෙම සාකච්ඡාව නිර්මාණය වී ඇත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට එරෙහිව පවත්වාගෙන යන මුදල් විශුද්ධිකරණ නඩුවක පළමු සැකකාරිය වූ ලෙස නම් කළ ඩේසි ෆොරස්ට් අත්අඩංගුවට නොගෙන එහි දෙවැනි සැකකරු වූ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ සිදුවීම මීට සමාන යැයි ද නීතිඥයන් අතර සාකච්ඡා වී තිබේ.
එහිදී යෝෂිත රාජපක්ෂ මහතාට අධිකරණයෙන් ඇප ලබාදීමට එම තර්කය බලපෑ බව ද ඔවුහු කියති.
පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා අධිකරණයට බාරවීමෙන් පසුව මේ වනවිට දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.
දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුවෙද්දී තමා අත්අඩංගුවට ගැනීමෙන් වලකින රිට් නියෝගයක් නිකුත් කරන්නැයි ඔහු අධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කළ නමුත් පසුගිය 17 වැනිදා අධිකරණයෙන් එය ප්‍රතික්ෂේප කෙරිණි.
එයින් පසුව පළාත්බද මහාධිකරණයට ප්‍රතිශෝධන අයැදුම්පතක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබුණත් තම සේවාදායකයා අධිකරණයට ඉදිරිපත් වී යැයි තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මාතර මහෙස්ත්‍රාත්වරයා හමුවේ පැවැසීය.
ප්‍රතිශෝධන අයැදුම්පත ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබියදී ඔහු එම පියවරට නොගොස් අධිකරණයට බාරවූයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරියා ලෙස අධිකරණ නියෝගයට අවනතවීමෙන් යැයි ද ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මාතර මහෙස්ත්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් පැවැසීය.
මෙම තත්ත්වය මත මෝසමක් මගින් දේශබන්ධු තෙන්නකෝන් ගේ නීතිඥයන්ට ද ඇප ඉල්ලීමට අවස්ථාවක් ඇතැයි ද නීතිඥ පිරිස සාකච්ඡා වී තිබේ.