ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් (Human Immunoglobulin) ඖෂධ ගනුදෙනුව සම්බන්ධ නඩු විභාගය මේ වන විට මෙරට අධිකරණ ඉතිහාසයේ ආන්දෝලනාත්මකම නඩු විභාගයක් බවට පත්වෙමින් තිබේ. එහෙත් මේ දිනවල අධිකරණය තුළින් ඇසෙන්නේ සාධාරණ යුක්ති පසිඳලීමකට වඩා, පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරහාගමගේ අත්තනෝමතික හැසිරීම් සහ තිරපිටපත් බිඳවැටීම හමුවේ ඇය විත්තියේ නීතිඥවරුන් සමඟ ඇති කරගන්නා උණුසුම් ගැටුම් මාලාවකි. සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම්, ගිරවුන් සේ පාඩම් කරවා ගෙන ආ සාක්ෂිකරුවන් හරස් ප්‍රශ්න හමුවේ නිරුවත් වීම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විමර්ශන ඇගේ පදයට නැටූ රූකඩ සංදර්ශනයක් බවට පත්වීම, අද වන විට විවෘත අධිකරණයේදීම ඔප්පු වෙමින් පවතී.
සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීම සහ ලක්මිණී – නයන්ත ගැටුම
අධිකරණය තුළ ලක්මිණී ගිරහාගමගේ හැසිරීම කෙබඳුද යන්න මනාව පැහැදිලි වූයේ 8 වන චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නයන්ත විජේසුන්දර හරස් ප්‍රශ්න ඇසීම ආරම්භ කළ අවස්ථාවේදීය. අතිරේක කැබිනට් ලේකම් උත්තරා අරුණකාන්තිගෙන් කැබිනට් මණ්ඩලයේ “විසම්මුති මතයක්” (Dissenting View) සටහන් කරගැනීම පිළිබඳව ප්‍රශ්න කරද්දී ලක්මිණී වහා ඊට විරුද්ධ වූවාය. ඇය කියා සිටියේ “විසම්මුති මත සටහන් කරගන්නේ නැතැයි කීවේ නැත, ඒවා පිටතට කියන්නේ නැති බව පමණක්” සාක්ෂිකාරිය පැවසූ බවයි. එහෙත් විනිසුරු ප්‍රියන්ත ලියනගේ වහාම ඊට මැදිහත් වෙමින් ලක්මිණීගේ ප්‍රකාශය නිවැරදි කළේ, සාක්ෂිකාරිය සැබැවින්ම පැවසුවේ “සටහන් කරගන්නේ නැති බව” යැයි අවධාරණය කරමිනි.
තත්ත්වය පුපුරා ගියේ නීතිඥ නයන්ත ප්‍රශ්න අසන විට ලක්මිණී සාක්ෂිකාරියට විවෘතවම සද්දයක් දමමින් පිළිතුරු දීම වැළැක්වීමට උත්සාහ කළ මොහොතේදීය. මෙයින් දැඩි කෝපයට පත් නීතිඥ නයන්ත විජේසුන්දර විවෘත අධිකරණයේදීම ඇයට එරෙහිව දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කළේය.
“ස්වාමීනි, මොකක්ද මේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියගේ හැසිරීමේ හැටි? මෙතන 12 දෙනෙක් ඉන්නවා. ඔවුන් තමන් ගෙදර යයිද, බන්ධනාගාරයට යයිද නොදැන දිනපතා උදේ හවා මේ උසාවියට එනවා. අවම වශයෙන් සාක්ෂිකාරයෙකුට නිදහසේ පිළිතුරු දෙන්නවත් මෙයා ඉඩ දෙන්නේ නෑ. සාධාරණ නඩු විභාගයක් කියලා පේන්නවත් මෙයාට හැසිරෙන්න බැරිද? මේක පළවෙනි වතාව නෙමෙයි. විට්නස්ලව බය කරලා සාක්ෂි ගන්නවා. ස්වාමීනි, මේක රෙකෝඩ් කරලා නීතිපතිට පැමිණිලි කරන්න ඕනේ. මේක විත්තියට කරන දැඩි අසාධාරණයක්!”
විනිසුරු ප්‍රියන්ත ලියනගේ මෙය වාර්තාගත නොකළද, ලක්මිණී ගිරහාගමට දැඩි ලෙස අවවාද කිරීමට පියවර ගත්තේය. පසුදින නඩු විභාගය ආරම්භ වූ විට නීතිඥ නයන්ත තවදුරටත් ලක්මිණීට සියුම් ප්‍රහාරයක් එල්ල කළේය. “සාමූහික වගකීම” පිළිබඳ එකම සරල ප්රශ්නය නැවත නැවත සාක්ෂිකාරියගෙන් ඇසූ ඔහු, “මම මේවා නැවත නැවත අහන්නේ මෙතන ඉන්න සමහර කට්ටියට මේවා තේරෙන්නේ නැති නිසයි” යැයි පැවසුවේ පැමිණිල්ලට එල්ල කළ සෘජු කනේ පහරක් ලෙසිනි.
උගන්වා ගෙන ආ ඖෂධවේදියා නිරුවත් වීම සහ ලක්මිණීගේ කලබලය
පැමිණිල්ලේ තිරපිටපත බිඳවැටෙන ආකාරය ඊළඟට දක්නට ලැබුණේ කලාපීය රෝහලක ඖෂධවේදියෙකුගේ (Pharmacist) සාක්ෂි විභාගයේදීය. ඔහු පැමිණියේද ජාතික රෝහලෙන් සහ මාතලේ රෝහලෙන් පැමිණි ඖෂධවේදීන් දුන් සාක්ෂිම ගිරවෙකු සේ පුනරුච්චාරණය කිරීමටය. එහෙත් ඔහු අතින් කියැවුණු එක් කරුණක් පැමිණිල්ලේ කතාව සම්පූර්ණයෙන්ම කණපිට පෙරළීය.
අදාළ ඖෂධය වයල්ස් (Vials) 242ක් ඇණවුම් කළද ලැබී ඇත්තේ 141ක් පමණක් බවත්, “කිසිම හදිසියක් හෝ ඖෂධ හිඟයක් තිබුණේ නැතැයි” ලක්මිණී ගොඩනඟන තර්කය පුස්සක් කරමින්, එකල පැවති හදිසි තත්ත්වය නිසා වෛද්‍ය සැපයුම් අංශයේ (MSD) තොග ඇති විට වැඩිපුර ඇණවුම් කිරීමට පියවර ගත් බවත් ඔහු අධිකරණය හමුවේ පිළිගත්තේය.
අසාත්මිකතා (ADR) වාර්තා වීම පිළිබඳ හරස් ප්‍රශ්න ඇසීමේදී, එකම අවස්ථාවේ Isoless සහ Reliance නමින් තොග දෙකක් පැවති බවත්, අසාත්මිකතාව කුමන තොගයෙන් වූයේදැයි නිශ්චිතවම පැවසිය නොහැකි බවත් ඔහු පිළිගත්තේය. තත්ත්වය වඩාත් හාස්‍යජනක වූයේ දෙවන චූදිතගේ නීතිඥවරයා, “මාස තුනක අවම තොගයක් පවත්වා ගත යුතුදැයි” ඇසූ විටය. එය ලක්මිණී විසින් “උගන්වා තිබූ” ප්‍රශ්න පත්‍රයෙන් පිට පැනීමක් වූ බැවින් සාක්ෂිකරු අසරණ විය. ඔහු පිළිතුරු දීමට පෙර නීතිඥ මේසය දෙස හැරී බැලූ අතර, ලක්මිණී ඔහු දෙස රවා බලමින් සිටින අයුරු දුටු ඔහු වහා සිය පිළිතුර ඇයට අවශ්‍ය පරිදි වෙනස් කරගත්තේය.
2023 ඔක්තෝබර් 03 දින ඖෂධ භාවිතය අත්හිටුවන ලෙස දැනුම් දුන් බවත්, එහෙත් එම ඖෂධ ප්‍රවාහනයේදී නිසි උෂ්ණත්වය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය Data Loggers භාවිතා නොකර සාමාන්‍ය උෂ්ණත්වමානයක් (Thermometer) පමණක් යොදාගත් බවත් සාක්ෂිකරු පිළිගත්තේය. ප්‍රවාහනයේදී පැයක් වැනි කාලයක් තුළ උෂ්ණත්වය වෙනස් විය හැකි බවත්, එය ප්‍රමිතියට බලපාන බවත් නීතිඥ අසේල සේරසිංහ මතු කළේ පැමිණිල්ලේ තවත් දුර්වලතාවයක් පෙන්වා දෙමිනි.
CID යේ රෙදි ගැලවූ අසේල සේරසිංහගේ හරස් ප්‍රශ්න
තම තිරපිටපත බිඳ වැටෙන විට ලක්මිණී කෙතරම් කලබල වූවාද යන්න නීතිඥ අසේල සේරසිංහගේ හරස් ප්‍රශ්න හමුවේ මනාව පෙනිණි. දෙවන චූදිතයා විසින් CID යට භාර දුන් ලිපිගොනු පිළිබඳව කිසිදු විමර්ශනයක් කර නොමැති බව ඔහු පෙන්වා දුන් විට, ලක්මිණී තත්පරයෙන් තත්පරය නැඟී සිටිමින් ඊට විරෝධතා (Objections) ගොනු කළාය. ඇයගේ මෙම බාධා කිරීම් කෙතරම් දරුණු වූවාද යත්, විනිසුරු ප්‍රියන්ත ලියනගේට ඊට එරෙහිව නියෝගයක් පවා නිකුත් කිරීමට සිදුවිය.
සාක්ෂිකරුද සෑම ප්‍රශ්නයකදීම ලක්මිණීගේ මුහුණ බලමින් “ඒක මට මතක නෑ ස්වාමීනි” යැයි පැවසීමට පුරුදු වී සිටියේය. V28 නමින් නම් කළ ලේඛනයක් සම්බන්ධයෙන් ඔහුට මතක නැතැයි කීවද, පසුව ඔහුම එය CID යට භාර දුන් බව පිළිගත්තේය. එහෙත් CID ය ඒ ගැන කිසිදු ප්‍රශ්න කිරීමක් කර නැත.
මෙම සම්පූර්ණ විමර්ශනයම CID යේ ස්ථානාධිපති පයාගල සහ ප්‍රධාන විමර්ශන නිලධාරී ලක්සිරි විසින් සිදු කර ඇත්තේ ලක්මිණීගේ පදයට නටමින් බව මෙහිදී තහවුරු විය. ලක්සිරි අධිකරණය හමුවේ නිහඬව සිටියද, “අපිට නීතිපති දෙපාර්තමේන්තුවට ඕන විදිහටයි විමර්ශනය කරන්න වුණේ, හරියට කරගන්න දුන්නේ නෑ” යනුවෙන් ඔවුන් පවසන තත්ත්වයට විමර්ශනය බාල්දු වී තිබේ.
කැබිනට් රහස් සහ මුදල් අමාත්‍යාංශයේ බලහත්කාරය
මෙම නඩුවේ කැබිනට් තීරණ සම්බන්ධයෙන් අතිරේක කැබිනට් ලේකම් උත්තරා අරුණකාන්ති දුන් සාක්ෂියද පැමිණිල්ලේ තර්ක සුණුවිසුණු කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් Covid මාර්ගෝපදේශ දීර්ඝ කිරීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කළද, මුදල් අමාත්‍යාංශය එය වෙනස් කරමින් “හදිසි ප්‍රසම්පාදන මාර්ගෝපදේශයක්” ලෙස බලහත්කාරයෙන් නිකුත් කර ඇති බව ඇය තහවුරු කළාය. අදාළ ප්‍රසම්පාදන කමිටුවට (HSEPC) සාමාජිකයන් පවා පත් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා නොව මුදල් අමාත්‍යාංශය විසිනි.
කැබිනට් පත්‍රිකාවක් අනුමත වන ක්‍රියාවලිය ඇය සවිස්තරාත්මකව පැහැදිලි කළාය. අමාත්‍යාංශ ලේකම්වරයා හරහා ලැබෙන පත්‍රිකාව කැබිනට් කාර්යාලයෙන් නිරවද්‍යතාව පරීක්ෂා කර ලියාපදිංචි කිරීමෙන් පසු සිකුරාදා වන විට සියලුම අමාත්‍යවරුන්ට යැවේ. ඕනෑම අමාත්‍යවරයෙකුට අමතර තොරතුරු ඉල්ලීමට හෝ එය ප්‍රතික්ෂේප කිරීමට පූර්ණ නිදහස ඇත.
වැදගත්ම කරුණ නම් “සාමූහික වගකීමයි”. කැබිනට් පත්‍රිකාවක් බහුතර මතයෙන් සම්මත වූ පසු කිසිදු විසම්මුති මතයක් සටහන් කර නොගන්නා අතර, සමස්ත කැබිනට් මණ්ඩලයම ඊට වගකිව යුතුය. ජනාධිපතිවරයාගේ අනුමැතිය නොමැතිව කිසිවක් සම්මත නොවේ. 6 වන චූදිතගේ නීතිඥ නුවන් ජයවර්ධන ඇසූ ප්‍රශ්න වලදී, “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රජය කටයුතු කළ බවත්, අමාත්‍යාංශ ලේකම්වරයා තොරතුරු ලබා ගන්නේ තම ආයතන වලින් බවත්, ඔහු එහි නිරවද්‍යතාවය පරීක්ෂා කර ඇති බවත් තහවුරු විය. එමෙන්ම කැබිනට් ලේකම්වරයෙකු අමාත්‍යංශයේ ප්‍රතිපත්තිමය කටයුතු සඳහා නොව පරිපාලනමය නිරවද්‍යතාව පරීක්ෂා කිරීමට බැඳී සිටින බවද අනාවරණය විය.
අධිකරණයේ අමානුෂිකත්වය සහ අහිමි කළ පිය සෙනෙහස
ලක්මිණී ගිරහාගමගේ පහසුව වෙනුවෙන් අවශ්‍ය ඕනෑම අවස්ථාවක නඩු කල් තබන අධිකරණයක්, විත්තියේ අතිශය මානුෂීය ඉල්ලීමක් හමුවේ දැක්වූ අමානුෂික ප්‍රතිචාරය මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.
11 වන චූදිත වෛද්‍ය සුදර්ශන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිත ආරියරත්න, වෛද්‍යවරයාගේ එකම දියණියගේ BMICH හි පැවැත්වෙන උපාධි ප්රදානෝත්සවය (Graduation) සඳහා සහභාගී වීමට සඳුදා දිනයේ පැය දෙක තුනක අවසරයක් ඉල්ලා සිටියේය. නඩුව නතර නොකරන ලෙසත්, අදාළ කටයුතු තමා බලාගන්නා බවත් ඔහු කීවද, විනිසුරු මඬුල්ල කිසිදු මානුෂීය හැඟීමකින් තොරව එය ප්‍රතික්ෂේප කළේය. තම දරුවාගේ ජීවිතයේ වටිනාම අවස්ථාව දැකගැනීමට පියෙකුට ඇති අයිතිය පවා අහිමි කරමින්, නීතිය ක්‍රියාත්මක වන්නේ කාගේ වුවමනාවටද යන්න මෙමඟින් මනාව පැහැදිලි වේ.
පැමිණිල්ල මෙහෙයවා හත්පොලේ ගාගනිමින් සිටින ලක්මිණී ගිරහාගමගේ මෙම ඒකාධිපති හැසිරීම් සහ විමර්ශන වල ඇති හිස්තැන් හරහා පෙනී යන්නේ, යුක්තිය පසිඳලීම කෙසේ වෙතත්, මෙය හුදෙක් පෙර සූදානම් කළ තිරපිටපතක් රඟදැක්වෙන ඛේදවාචකයක් බවට පත්වෙමින් පවතින බවයි.