යුක්තිය පසිඳලන උත්තරීතර අධිකරණයක් තුළ නීතියේ ආධිපත්‍යය (Rule of Law) සැමට සමානව ක්‍රියාත්මක විය යුතුය යන්න සර්වකාලීන නීතිමය මූලධර්මයකි. එහෙත්, දැනට මාස 10ක් පුරා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ සතියේ දින පහේම විභාගයට ගැනෙන, හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව පැවැත්වෙන ආන්දෝලනාත්මක ඖෂධ නඩුව දෙස බලන විට පෙනී යන්නේ, යුක්තිය යනු හුදෙක් බලවතුන්ගේ සහ අතළොස්සකගේ වුවමනාවන් මත හැඩගැසෙන නම්‍යශීලී සංකල්පයක් බවට පත්ව ඇති බවයි.

පසුගිය සතියේ අපගේ වේදිකාව හරහා අධිකරණය තුළ රහසිගතව හුවමාරු වන ‘චිට්’ හෙවත් තුණ්ඩු කෑලි සංස්කෘතිය පිළිබඳව අප කළ හෙළිදරව්වටත් වඩා බරපතල, නීතියේ මූලික පදනමම දෙදරුම් කවන අතිශය කම්පනකාරී සිදුවීම් මාලාවක් මේ සතියේදීත් අධිකරණ භූමියෙන් වාර්තා විය. මේ, සාමාන්‍ය පුරවැසියාට හිමිවිය යුතු නෛතික යුක්තිය, බලයේ සහ හිතවත්කම්වල සෙවණැල්ල යටතේ නිරුවත් අවනීතියක් බවට පත්වන ආකාරය පිළිබඳ සවිස්තරාත්මක මාධ්‍ය හෙළිදරව්වකි.

ලක්මිණීටසුපිරි කුටිසහ විත්තියටබර උසුලනයුක්තිය

ඕනෑම සාධාරණ නඩු විභාගයකදී (Fair Trial) පැමිණිල්ල සහ විත්තිය සමාන මට්ටමකින් (Equality of Arms) සැලකිය යුතුය. එහෙත් අලුත්කඩේ උසාවි භූමියේ සිදුවන්නේ කුමක්ද? නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන අතිරේක සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම ට, විනිසුරුවරුන්ගේ නිල මැදිරි (Chambers) පවතින මහලේම විශේෂිත කාමරයක් ලබා දී තිබේ. මෙය හරියටම විනිසුරුවරයෙකුට ලබාදෙන වරප්‍රසාදයක් බඳුය.

මෙම සුවිශේෂී සැලකිල්ල හරහා පැනනගින නෛතික සහ සදාචාරාත්මක ගැටලුව අතිශය භයානකය. ඇයට සම්පූර්ණ උසාවි භූමියේ මෙන්ම අධිකරණ නිලධාරීන්ට (Court Officers) සෘජු ප්‍රවේශයක් මේ හරහා හිමිවේ. සාක්ෂි වෙනස් කිරීමට හෝ ලේඛනවලට අනිසි බලපෑමක් කිරීමට අවශ්‍ය නම් ඊට ඇති ඉඩකඩ අතිමහත්ය. අල්ලපු වැටේ ඇති නීතිපති දෙපාර්තමේන්තුවේ සිට ලිපිගොනු රැගෙන ඒමට නොහැකිව ඇයට මෙලෙස විශේෂ කුටි වෙන්කර දෙද්දී, විත්තියේ නීතීඥවරුන්ට සහ විත්තිකරුවන්ට සිදුවී ඇත්තේ තමන්ගේ නිවෙස්වල සිට යෝධ ලිපිගොනු කඳු කරපින්නාගෙන උසාවි ගාටන්නටය. මෙයද නීතිය ඉදිරියේ සැමට සමානව සැලකීම?

විනිසුරු මඩුල්ලේසොෆ්ට් කෝනර්සහබැච්මේට්ප්‍රේමය

මෙම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වන්නේ ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාරනායක යන විනිසුරුවන්ගෙනි. මෙහි ඇති බරපතලම ඛේදවාචකය වන්නේ විනිවිදභාවය (Transparency) සහ අපක්ෂපාතීත්වය (Impartiality) සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වන ආකාරයේ සබඳතා මෙහි පැවතීමයි.

විනිසුරු විරාජ් වීරසූරිය යනු පැමිණිල්ල මෙහෙයවන ලක්මිණී ගිරිහාගමගේ නීති විද්‍යාලයේ සමකාලීනයෙකි (Batchmate). එපමණක් නොව, ඔහු මීට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ ඇය සමග එකට සේවය කළ අයෙකි. අනෙක් පසින්, සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතාද ලක්මිණී ගිරිහාගම වෙනුවෙන් දක්වන්නේ පුදුමාකාර ‘සොෆ්ට් කෝනර්’ එකකි. පැමිණිල්ල මෙහෙයවන නීතීඥවරිය සහ විනිසුරු මඩුල්ල අතර මෙවැනි සමීප සබඳතා පවතින විට, එතැන ස්වාධීන නඩු විභාගයක් බලාපොරොත්තු විය හැක්කේ කෙසේද? උසාවියෙන් පිටත නීතීඥ ප්‍රජාව පවා අද විවෘතව ප්‍රශ්න කරන්නේ මේ සාධාරණ නඩු විභාගයකට කිසිදු පදනමක් නැති හාස්‍යජනක නාටකයක් ගැන නොවේද?

මම දන්නේ නෑසින්දුව කියන සභාපතිනිය සහ අරුම පුදුම නීතිය

මෙම නඩුවේ පදනම මනාව පැහැදිලි වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක මෙන්ම ඊ.ඕ.අයි (EOI) කමිටුවේ සභාපතිනිය ලෙස කටයුතු කළ ‘දෙනාවක’ නමැති සාක්ෂිකාරියගේ හැසිරීමෙනි. ඖෂධ ගෙන්වීමේ සියලු තීරණවලට සභාපතිනිය ලෙස අත්සන් තබා ඇත්තේ ඇයයි. එහෙත් ඇය අධිකරණයේදී දෙන්නේ අපූරු උත්තරයකි. “මම දන්නේ නෑ, දැකලා නෑ, මට තාක්ෂණික දැනුමක් නෑ, මම අනිත් නිලධාරීන්ව විශ්වාස කරලා තමයි අත්සන් කළේ.”

මෙහි ඇති නෛතික විහිළුව එය නොවේ. පස් දෙනෙකුගෙන් යුත් එම කමිටුවේ තීරණවලට වගකිවයුතු සභාපතිනිය කිසිදු වගකීමක් භාර නොගෙන සාක්ෂි කූඩුවේ වැජඹෙද්දී, ඇයගේ කමිටුවේම සිටි 11 වැනි චූදිත වෛද්‍ය සුදර්ශන, 9 වැනි චූදිත (රටින් පලාගොස් ඇති) ජයනාත් බුත්පිටිය සහ 3 වැනි චූදිතිය වන ඖෂධවේදිනී දේවශාන්තීනි සොලමන් අද විත්තිකරුවන් බවට පත්කර ඇත. එපමණක් නොව, වැරදි සෙවීමට පත්කළ අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණකවරිය (Internal Auditor) පවා අද සිටින්නේ විත්ති කූඩුවේ නොව සාක්ෂි කූඩුවේය.

කමිටුවක සභාපතිනිය නිලධාරීන්ව විශ්වාස කර අත්සන් තැබූ විට ඇය නිවැරදි නම්, අමාත්‍යවරයෙකු තම නිලධාරීන් කැබිනට් පත්‍රිකාවලට අමුණා දෙන තොග වාර්තා (Stock levels) විශ්වාස කර කටයුතු කිරීම අපරාධයක් වන්නේ කෙසේද? වගකීම ඇත්තේ පහළ නිලධාරීන්ට සහ ඉහළම අමාත්‍යවරයාට පමණක්ද? සභාපතිනියන්ට සහ විගණකවරුන්ට නීතියෙන් මුක්තියක් (Immunity) ලැබී ඇත්තේ කෙසේද? මේ ක්‍රියාත්මක වන්නේ රටේ නීතියද, නැතහොත් තෝරාගත් පිරිසක් දඩයම් කිරීමේ න්‍යායපත්‍රයක්ද?

සටහන් නොවන විරෝධතා සහ නිහඬ කරන යන්ත්‍

අධිකරණ ඉතිහාසයේ කළු පැල්ලමක් සනිටුහන් කරමින්, විත්තියේ නීතීඥවරුන් නගන විරෝධතා (Objections) නඩු වාර්තාවේ (Case Record) සටහන් කිරීම පවා සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. ඇමුණුමක් (Annexure) ලෙස තිබූ ලේඛනයක් සිතාමතාම වංචාවක් පෙන්වීමේ අරමුණින් ප්‍රස්ථාරයක් (Chart) ලෙස වෙනස් කර ඉදිරිපත් කළ විට, 9 වැනි චූදිතයාගේ නීතීඥවරයා ඊට දැඩි විරෝධයක් පෑවේය. විනිසුරුවරයා එය ඉවත දැමුවා පමණක් නොව, එය නඩු වාර්තාවේ සටහන් කිරීමද ප්‍රතික්ෂේප කළේය.

නීතීඥවරයෙකු තම සේවාදායකයා වෙනුවෙන් නගන විරෝධතාවක් නඩු වාර්තාවට ඇතුළත් කිරීම ඔහුගේ මූලික නෛතික අයිතියකි. එය ප්‍රතික්ෂේප කිරීම යනු, හෙට දිනක අභියාචනා ක්‍රියාවලියකට (Appeal Process) යාමට විත්තිකරුවන්ට ඇති අයිතිය සම්පූර්ණයෙන්ම අහුරා දැමීමකි. විරෝධතාවක් නැගූ සැණින් ලඝුලේඛකයාට (Stenographer) “ඔන්න ඕක ලියන එක නතර කරන්න” යැයි විනිසුරුවරයා අණ දෙන්නේ නම්, එතැන ඇත්තේ නීතිය පසිඳලීමක්ද, නැතහොත් ඒකාධිපති පාලනයක්ද?

ෆොටෝකොපි සාක්ෂි, ෆයිල් අංක 85 විජ්ජාව සහ ප්‍රොන්ටෝ (Pronto) බොරුව

අනෙක් අතට, ලක්මිණී ගිරිහාගම සාක්ෂි මෙහෙයවන්නේ මුල් පිටපත් (Originals) වෙනුවට ඡායා පිටපත් (Photocopies) මගිනි. සාක්ෂි ආඥාපනතේ මූලික නීති පවා උල්ලංඝනය කරමින් ගෙන එන මේවාට 10 වැනි චූදිතයාගේ නීතීඥ ප්‍රියන්ත නාවන්න දැඩි ලෙස විරුද්ධ වුවද, ප්‍රියන්ත ලියනගේ විනිසුරුවරයා ඇයට ඒ සියල්ල සලකුණු කිරීමට ඉඩ දෙයි.

එපමණක් නොව, නියම කැබිනට් පත්‍රිකා ගොනුව (අංක 68) සඟවා, 10 වැනි චූදිත සමන් රත්නායක විසින් විවිධ තැන්වලින් එක්රැස් කර සෑදූ බව කියන ‘අංක 85’ දරන ව්‍යාජ ගොනුවක් කැබිනට් පත්‍රිකාව ලෙස ලක්මිණී අධිකරණයට ඉදිරිපත් කරයි. නීතීඥ අනුජ ප්‍රේමරත්න හරස් ප්‍රශ්න මගින් මෙය සම්පූර්ණයෙන්ම බිඳ හෙළා, නියම ගොනුව සලකුණු කිරීමට හැදූ විට විනිසුරුවරයා ඊට ඉඩ දෙන්නේ නැත.

තවද, ඖෂධ තොග පරීක්ෂා කළ ‘ප්‍රොන්ටෝ’ (Pronto) පද්ධතිය පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බව සාක්ෂිකාරිය අධිකරණයේදී දිවුරා කීවද, ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) ලබාදුන් කටඋත්තරයේ එම පද්ධතිය භාවිතා කළ බව පැහැදිලිව සඳහන් කර ඇත. මෙය අමු අමුවේ කරන බොරු සාක්ෂි දීමකි (Perjury). එහෙත් විනිසුරු මඩුල්ල මුනිවත රකියි.

නීතිපති දෙපාර්තමේන්තුවේටියුෂන්පන්ති

මෙම සාටෝපකාරී නාඩගමේ කූටප්‍රාප්තිය වන්නේ, සාක්ෂිකරුවන් එකිනෙකා සමඟ සහ පැමිණිල්ල මෙහෙයවන නීතීඥවරිය සමඟ රහසේ මුණගැසීමයි. අභ්‍යන්තර විගණකවරිය (ප්‍රේමතුංග මහත්මිය) සාක්ෂිකාරියක් බව දෙනාවක මහත්මිය දැනගත්තේ කෙසේදැයි 9 වැනි චූදිතයාගේ නීතීඥ රාහුල් ඇසූ විට, ඇය කීවේ තමන් නීතිපති දෙපාර්තමේන්තුවට ‘උපදේශන’ (Consultation) සඳහා තුන් වතාවක් ලක්මිණී ගිරිහාගම හමුවීමට ගිය බවත්, එහිදී ඇයව දුටු බවත්ය. ස්වාධීන විය යුතු සාක්ෂිකරුවන් නීතිපති දෙපාර්තමේන්තුවට ගෙන්වා මෙලෙස කූට ලෙස හැඩගැස්වීම (Coaching) සාමාන්‍ය නීතියට පටහැනි වුවද, විනිසුරුවරුන්ගෙන් ඊට කිසිදු අවවාදයක් හෝ නැත.

මේවා බලද්දී අපිට හැඟීයන්නේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ මේ රඟදැක්වෙන්නේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක් නොව, කල්තියා ලියා නිමකළ තිරපිටපතකට අනුව ක්‍රියාත්මක වන දඩයමකි. පැමිණිල්ලට පාවාඩ එළන, විත්තියේ අයිතීන් අමු අමුවේ උදුරාගන්නා, බොරු සාක්ෂිවලට නිහඬව අනුබල දෙන මෙවැනි ක්‍රියාවලියක් හරහා බලාපොරොත්තු විය හැකි සාධාරණය කුමක්ද?

ග්‍රීක දාර්ශනිකයෙකු වරක් කීවාක් මෙන්, “නීතිය යනු මකුළු දැලකි; දුබලයන් එහි පැටලෙන අතර, බලවතුන් එය කඩාගෙන යයි.” අලුත්කඩේ අධිකරණ භූමියෙන් අද ඇසෙන්නේ ඒ ඛේදනීය යථාර්ථයේ දෝංකාරයයි. මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් සහ සමාජ කතිකාවක් ඇතිවීම අනිවාර්ය අවශ්‍යතාවකි.

– මල්කා නෙල්ලිගෙදර

Related Posts