ප්‍රමිතියෙන් තොර “හියුමන් ඉමියුනොග්ලොබියුලීන්” සහ “රිටොක්සිමැබ්” ඖෂධ මිලදී ගැනීම හරහා රජයට රුපියල් කෝටි 14 ක මුදලක් වංචා කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය මේ දිනවල අඛණ්ඩව ක්‍රියාත්මක වේ. සතියේ දින පහේම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පැවැත්වෙන මෙම නඩු විභාගය වෙනුවෙන් රජය පාර්ශවයෙන් විශාල කාලයක් සහ මුදලක් වැය කෙරේ.

“එහෙත්, මෙම සමස්ත ක්‍රියාවලිය හරහා අධිකරණයේ ගෞරවය සහ නීතියේ ආධිපත්‍යය කෙතරම් දුරට ආරක්ෂා වන්නේද යන්න අද වන විට සමාජය හමුවේ බරපතල ලෙස ප්‍රශ්න කෙරෙමින් පවතී. යුක්තිය සහ සාධාරණත්වය සොයා යන නඩු විභාගයක් වෙනුවට, මෙය කෙසේ හෝ තම මතය ජයගැනීමට කටයුතු කරන “හොරා පොලිස්” සෙල්ලමක් බවට පත්වෙමින් තිබීම දැඩි කණගාටුවට කරුණකි.”
අදෘශ්‍යමාන “කොළ කෑලි” මෙහෙයුම: සාක්ෂි කූඩුවටත් රහස් පණිවිඩ!
මෙම ඛේදනීය තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම වගකිව යුත්තේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ ආන්දෝලනාත්මක හැසිරීමයි. ඇය මෙතෙක් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කිසිදු සාක්ෂියකදී විධිමත්ව සාක්ෂි සටහන් කරගෙන එක් සාක්ෂියක් හෝ සම්පූර්ණ කර නොමැති වීම අධිකරණ ක්‍රියාවලියට කරන බරපතල අපහාසයකි. විත්තියේ නීතිඥයන් කරුණු දක්වන විට හෝ හරස් ප්‍රශ්න අසන විට ඊට මැදින් පැන බාධා කිරීම සහ අයුතු ලෙස මැදිහත් වීම ඇයගේ ප්‍රධානතම කාර්යය වී තිබේ.
මීටත් වඩා බරපතලම ඛේදවාචකය වන්නේ, සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ගන්නා අතරවාරයේදී නඩු වාර්තා සටහන් කරන නිලධාරියාට (Stenographer) සහ සාක්ෂිකරුවන්ට කුඩා කොළ කැබලි (Chits) මගින් රහසිගතව උපදෙස් යවමින් තමන්ට අවශ්‍ය දේ කියවා ගැනීමට සහ ලියවා ගැනීමට ඇය දරන උත්සාහයයි. මෙය නීතියේ විනිවිදභාවයට සහ සාධාරණ නඩු විභාගයක මූලික පදනමට එල්ල කරන මරු පහරකි.

මේ සම්බන්ධයෙන් විත්තියේ නීතිඥයන් දැඩි විරෝධයක් මතු කළ අවස්ථාවේදී, සෘජුවම ස්ටෙනෝ නිලධාරියාට උපදෙස් ලබා නොදෙන ලෙසත් ඒවා විවෘතව අධිකරණයට ප්‍රකාශ කරන ලෙසත් විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. එහෙත් පුදුමයකට මෙන්, විත්තිය මතු කළ එම අතිශය වැදගත් විරෝධතාව නිල නඩු වාර්තාවලට ඇතුළත් කිරීමට විනිසුරුවරයා අවසර ලබා දුන්නේ නැත.
හංගන සාක්ෂි සහ CID වාර්තාවල අර්බුදය..
පැමිණිල්ල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මෙම සමස්ත විමර්ශනයම කෙතරම් සැහැල්ලුවට සහ අපිළිවෙලකට ගෙන ඇත්දැයි නඩු විභාගයේදී මතුවන තාක්ෂණික දෝෂවලින් මනාව පැහැදිලි වේ. කිසිදු නෛතික පදනමකින් තොරව පූර්ව නඩු විභාගය (Pre-trial) දින දෙකකින් හදිසියේ අවසන් කිරීම හේතුවෙන් විශාල අඩුපාඩු රාශියක් නිර්මාණය වී ඇත.

නඩුවට අදාළ සියලු ප්‍රකාශ ලබාදී ඇති බවට මීට පෙර සහතික වී තිබුණද, නිවාඩු කාලයෙන් පසුව යළිත් පිටු 50කට අධික අලුත් ප්‍රකාශ 18ක් හදිසියේම අධිකරණයට ඉදිරිපත් කිරීම විමතියට කරුණකි. එපමණක් නොව, සාක්ෂිකරුවන් විසින් CID වෙත ලබාදුන් ප්‍රකාශ කිහිපයක් තිබියදීත්, ඉන් තමන්ට වාසිදායක එක් ප්‍රකාශයක් පමණක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව හයවැනි චූදිතයාගේ නීතිඥවරයා විසින් පෙන්වා දෙන ලදී.
අනෙක් අතට, පැමිණිල්ල පාර්ශවයෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන සලකුණු කිරීමට යන අවස්ථාවේදී, ඒවායේ මුල් පිටපත් (Originals) සමඟ සසඳා බැලිය යුතු බව පවසමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විසින්ම තම ලේඛනවලට විරෝධය පෑම නීතිමය වශයෙන් අතිශය පරස්පර විරෝධී මෙන්ම හාස්‍යජනක තත්ත්වයකි.
තෝරාගත් අයට පමණක් ක්‍රියාත්මක වන ‘තේරීම් සහගත නීතිය’ (Selective Justice)
මෙම නඩු විභාගයේ දක්නට ලැබෙන තවත් කෲරතම ඛේදවාචකයක් වන්නේ නීතිය තේරීම් සහගතව ක්‍රියාත්මක වීමයි. මෙම නඩුව ‘හියුමන් ඉමියුනොග්ලොබියුලින්’ සහ ‘රිටොක්සිමැබ්’ යන ඖෂධ වර්ග දෙකටම අදාළ වුවද, රුපියල් මිලියන 140කට අධික ගෙවීමක් කළ ‘රිටොක්සිමැබ්’ ගනුදෙනුව භාරව කටයුතු කළ ප්‍රධාන නිලධාරීන් කිසිවෙකුත් විත්ති කූඩුවට නංවා නැත.

HSCPC කමිටුවේ සාමාජිකයන් තිදෙනාම අදාළ තීරණවලට අත්සන් කර තිබියදීත් ඉන් එක් අයෙකු පමණක් චූදිතයෙකු කර ඇත. EOI කමිටුවේ තත්ත්වයද එයමය; එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා නිරුපද්‍රිතව සිටියදී අනෙක් සාමාජිකයන් තිදෙනා පමණක් අත්අඩංගුවට ගෙන ඇත. මෙය පැහැදිලිවම “තමන්ට අවශ්‍ය අයට පමණක්” නීතිය ක්‍රියාත්මක කිරීමකි.
කෝටි ගණනක වංචාව හුදු ‘ටයිපිං අත්වැරැද්දක්’ පමණක්ද?
මෙහි ඇති විශාලතම විහිළුව වන්නේ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය වැනි බරපතල වගකීම් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා තීරණ ගත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කැඳවීම වෙනුවට, සංවර්ධන නිලධාරීන් වැනි කනිෂ්ඨ නිලධාරීන් අධිකරණයට කැඳවීමයි.

‘Iseles Biotech Pharma’ නැමති වැරදි සමාගමකට රුපියල් කෝටි ගණනක් ගෙවීම් කිරීම එක් සංවර්ධන නිලධාරියෙකුගේ හුදු “අත් වැරදීමක්” (Typing Error) ලෙස ලඝු කිරීමට පැමිණිල්ල උත්සාහ දරයි. එතරම් බරපතල වැරැද්දක් කළ පුද්ගලයා නඩුවේ චූදිතයෙකු නොවී හුදෙක් සාක්ෂිකරුවෙකු පමණක් වී සිටීම නීතියේ දැවැන්ත සිදුරක් පෙන්වා දෙයි.
නිගමනය
සමස්තයක් ලෙස ගත් කල, රටේ සෞඛ්‍ය පද්ධතිය සහ මහජන මුදල් බිලිගත් මෙම දැවැන්ත අපරාධයේ සැබෑ මොළකරුවන් සහ තීරණ ගත් පාර්ශවයන් නීතිය හමුවට ගෙන එනු වෙනුවට, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඇතුළු පැමිණිල්ල කටයුතු කරමින් සිටින්නේ නීතියේ සිදුරු වසා ගනිමින් තෝරාගත් පිරිසක් පමණක් ගොදුරු කර ගැනීමේ ව්‍යාපෘතියක් තුළ බව ඉතා පැහැදිලිය.
අධිකරණයක් තුළ “කොළ කැබලි” හරහා රහසිගතව නඩු මෙහෙයවීමටත්, සාක්ෂි විකෘති කිරීමටත් රාජ්‍යයේ නීතිඥයන් කටයුතු කරන්නේ නම්, එහිදී ආරක්ෂා වන යුක්තියක් හෝ අධිකරණය පිළිබඳ මහජන විශ්වාසයක් තවදුරටත් ඉතිරි නොවන බව අවධාරණය කළ යුතුව ඇත.
– මල්කා නෙල්ලිගෙදර