තමන් අච්චර සල්ලි ඉතුරු කළා… මෙච්චර සල්ලි ඉතුරු කළා… කියා මාලිමා ආණ්ඩුවේ ඇමතියන් ගණන් ඉලක්කම් කියනු පෙනේ. ඒවා සත්‍යය නම් හොඳ ය. නමුත් මාලිමා ආණ්ඩුව විසින් ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ එක් පරිසර පද්ධතියකට සිද්ධ කළ දූෂණය ගණනය කර බැලුවහොත් අර ඉතිරි කළ සියල්ලට වඩා දස දහස් ගුණයකින් වැඩි වනු ඇත.
එනම් දින 10 ක් ඇතුළත මහනුවර පරිසරයට සිද්ධ කළ විශාලතම දූෂණය යි. පඬු කරඳ ශාකය වෙනුවෙන් හැඬූ බොරු පරිසරවේදිනියන් අද මාලිමාව විසින් සිද්ධ කළ මහා පරිසර විනාශය නොදැක්කා සේ සිටී. ලෝක පූජිත පරිසරවේදීන් අද කුජීත ය. ඔවුන්ගේ පරිසර දේශපාලනයේ බොරුව එයින් පෙනේ.
මහනුවරට එකතු වූ නොදිරන ප්ලාස්ටික් සහ පොලිතින් ටොන් ගණන හෙළි වේය යන බියෙන් මාලිමාවේ ඊනියා ක්ලීන් ශ්‍රී ලංකා ටීෂර්ට්කාරයන් වහාම ගොස් ඒවා යට ගැසුවේ ය. මහනුවර මහපොළොවේ ඒවා සඟවා දමනු ඇත. මළ මුත්‍ර නිසා කසළ වෙන් කළ නොහැකි යැයි කියමින් සියල්ල ඉක්මනින් වළ දැමුවේ ය.
මහනුවර කානු පද්ධතිය ඔස්සේ ලක් මාතාවගේ ගංගා ඇළ දොළට එකතු වූ ප්ලාස්ටික් ප්‍රමාණය ගණනය කළ නොහැකි ය. ඒවා බිඳී හැදෙන මයික්‍රෝ ප්ලාස්ටික් අංශු මහනුවර මෙන්ම අවට පරිසර පද්ධතිවලටත් එකතු වී සදහටම සංසරණය වනු ඇත.
විවිධ රෝගකාරක රැගත් මිනිස් මළ, මුත්‍ර, ලේ, සැරව, සෙම්, සොටු මහනුවර පසට, ජලයට, වාතයට ටොන් ගණනින් එකතු කළේ ය. කෝවිඩ් වෛරසය සහිත මෘත ශරීර වළ දැමුවහොත් කාලයක් ගොස් නැවතත් රෝගය පැතිරේ යැයි කියූ මොත්ත විද්‍යාඥ මෙත්තිකා අද නිහඬ ය. මහනුවරට මුදා හළ විෂ බීජවල හැටියට නුවර එකෙකුට අතට අත දී කථා කිරීමටත් දැන් බය විය යුතු ය.
බස් රථ සහ පුද්ගලික වාහන ලක්ෂ ගණනක් මහනුවර වාතයට ගණනය කළ නොහැකි තරම් විෂ වායු ස්කන්ධයක් එකතු කළේ ය. ඔක්සිජන් වෙනුවෙන් සටන් කළ ව්‍යාජ පරිසරවේදිනියන් ඒ ගැන මීක් නැත. මන්ද එයින් ඔවුන්ගේ පරිසර ඝාතක දේශපාලන පක්ෂයට පහර වැදෙන නිසා ය.
ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් තුළ සිද්ධ කළ විශාලතම පරිසර හානිය මෙය විය යුතු ය. අවාසනාව නම් එම මහා විනාශය වළක්වා ගත හැකිව තිබීම ය. නිසි ලෙස සැලසුම් කර සංවිධානය කළේ නම් එම පරිසර විනාශය අඩුම තරමින් අවම කර ගත හැකිව තිබිණි. නමුත් කයිය ගහන්න පමණක් හපන් වැඩ බැරි අනුර-හරිනි සමාගම ඔවුන්ගේ පළමු මාස හය ඇතුළත ලංකා ඉතිහාසයේ ලොකුම පරිසර දූෂණයත් කර දැම්මේ ය. අවුරුදු පහේ ම මොනතරම් ඉතුරු කළත් 2025 අප්‍රේල් මාසයේ මහනුවර දී කළ පරිසර විනාශයේ අගය ඊට වඩා බොහෝ වැඩි වනු ඇත.
ධර්මය ඔබට මග වේවා!
එරන්ද ගිනිගේ
2025 අප්‍රේල් 29